හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ මහාධිකරණය හමුවේ (02) දින අධිචෝදනා භාර දුන්නේය.
අනතුරුව නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල්, විත්තිකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළේය.
තවද විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ඇප කොන්දේසියක් පැනවූයේය.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ එන ‘දූෂණය’ වරද යටතේ විත්තිකාර රාජිත සේනාරත්නට එරෙහිව අධිචෝදනා පත්‍රය මඟින් චෝදනා 05ක් ඉදිරිපත් කර ඇත.
2012 ජූනි (12) වැනිදා සහ 2012 අගෝස්තු (06) වැනිදා අතර කාලසීමාව තුළ ධීවර අමාත්‍ය ලෙස කටයුතු කරමින් සිටියදී, කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කර වෙළෙඳපොළට විකිණීමේ කාර්යය සඳහා ‘සී වූ කම්පැනි ලිමිටඩ්’ නමැති කොරියානු සමාගම තෝරා ගැනීමටත්, ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘වැලිගොව්වා’ නමැති නෞකාව බදු පදනම මත පවරා දීමටත් අදාළ සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
