මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන පොලිස් නිලධාරීන් ඉතා අතළොස්සක් සිටින බවට වාර්තා වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එනිසා වහාම ජාවාරම්කරුවන්ට මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන ලෙසට ආරාධනා කරන බවත් එසේ නොමැති නම් වහාම නිල ඇඳුම අත්හරින ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එසේත් නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිලඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“වර්තමාන පොලීසිය සතුව තිබෙන ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ මේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම බව අපි විශ්වාස කරනවා. එය ඔබට රාජකාරීමය වශයෙන්ම පැවරී තිබෙනවා.
එහෙත් අපේ හදවතේ තෙතමනයක් තිබෙන මිනිසුන් ලෙස රාජකාරියෙන් ඔබ්බට යන සමාජ වගකීමක් ලෙසද සලකා ඒ වෙනුවෙන් කැපවිය යුතුව තිබෙනවා.
මේ සමාජ දේහය පුරා පැතිර යමින් තිබෙන විෂ මත්ද්‍රව්‍ය නම් මහා බිහිසුණු රකුසා සහ සන්නද්ධ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා දායකවන ලෙස, මම මෙම විශේෂ දිනයේදී ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
මේ වගකීම දෙවුර දරාගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන නිලධාරීන්ද ඉතා අතළොස්සක් සිටින බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ වගේම බිය නිසා මේ ජාලයේ ගොදුරු බවට පත්වි සිටින නිලධාරීන් සිටිනවා.
තවත් පිරිසක් මිලදි ගෙන සිටිනවා. ඔබ වහාම බිය අත්හැර මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන්න කියලා මම මේ දෙපිරිසටම ආරාධනා කරනවා. එසේ නොමැති නම් ඔබ නිල ඇඳුම අත් හරින්න.
එසේ නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිලඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බව මම විශ්වාස කරනවා. මහා ගෞරවයක් සහිත පොලීසිය මේ අතළොස්සක් නිසා අපකීර්තියට ලක් නොවිය යුතුයි.”
