ඩීසල් ලීටරයක මිල රුපියල් 507ක් වනවිට රජය රුපියල් 100ක පාඩුවක් දරාගෙන ඩීසල් ලීටරයක් රුපියල් 407ට ලබාදුන් බවත් පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 20ක පාඩුවක් දරාගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ඒ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව, IOC සමාගම ඇතුළු සියලු ඉන්ධන සමාගම් සෑම මසකම (15) වැනිදා වනවිට විකුණපු තෙල් ප්‍රමාණය ගණනය කර, ඩීසල් ලීටරයක රුපියල් 100 ගානේ සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ගානේ එම සමාගම් වලට රජයෙන් ලබාදුන් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
රටේ ජනතාවට අසීරු ලෙස බර නොදමා රජය විසින් ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාර වලට රුපියල් කෝටි 10,000ක් වෙන් කළ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“බය කරා රටේ ජනතාව තෙල් වලට පෝලිම් ඇති වෙනවා කිවුවා. විදුලිය කපනවා කිවුවා. ජනතාව බියවැද්දුවා. හැබැයි අපි බලශක්ති අර්බුදය, තෙල් සහ විදුලි අර්බුදය ඉතා හොදින් කළමණාකරණය කරා.
තෙල් හිගයක් සහ විදුලිය කැපීමක් සිද්ද වුණේ නෑ. ඒ කොහොමද කරන්නේ. ඒ විතරක් නෙමෙයි ජනතාවට අසීරු ලෙස බර දැම්මෙත් නෑ. අපි ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාර වලට කෝටි 10,000ක් වෙන් කරා.
ඩීසල් ලීටරය 407ට විකුණනකොට, ඇත්ත ගාණ 507යි. අපි කිවුවා තෙල් සංස්ථාවට 407ට විකුණන්න. අපි 100 ගානේ ආණ්ඩුවෙන් දුන්නා තෙල් ලීටරයකට. රුපියල් 20 ගානේ දුන්නා පෙට්‍රල් ලීටරයකට.
IOC එක වික්කත්, ආර් එම්පාක් වික්කත්, තෙල් සංස්ථාව වික්කත් හැම මාසෙම 15 වැනිදාට විකුණපු තෙල් ප්‍රමාණය ගණනය කරලා ඩීසල් ලීටරයක රුපියල් 100 ගානේ දුන්නා. මුහුදුයන ධීවර ජනතාවට අපි කිවුවා, දවසට ලීටර 25 ගානේ දවස් 25කට ඩීසල් ලීටර 625ක් රුපියල් 50ක් අඩුවෙන් දෙන්නම් කිවුවා.”
