ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සඳහා අද (08) දහවල් 1.25ට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත.
මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.
මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (08) දින දිවයිනට පැමිණ ඇත.
කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
මීටර් 149.02ක දිගින් යුත් Frigate වර්ගයේ මෙම යුද නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Vikas Sood සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අතර නිල හමුවක් විධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
කපිතාන් Vikas Sood 2020 වසරේ ජූලි මාසයේ සිට 2023 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කර ඇත.
