ජනපති අනුරගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක්

LIVE

බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් අද (08) දින පත් කෙරිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (08) දහවල් පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයට අනුව මෙම කමිටුව පත් කරනු ලැබ ඇත.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක මෙම කමිටුවේ සාමාජිකයින් වේ.

බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කරනු ලැබ තිබේ.

බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරේ.

2 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?