අකුරණ බිහිසුණු අනතුරේ අලුත්ම තත්ත්වය

අකුරණ කුරුගොඩ 7 කණුව ප්‍රදේශයේ ඊයේ (19) දින සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කණ්ඩායමක් අද (20) දින පැමිණීමට නියමිතව ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 46 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි, සිමෙන්ති මිශ්‍රණ රථයේ රියදුරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති මිශ්‍රණ රථයක් පාලනයෙන් ගිලිහි ගොස්, ත්‍රිරෝද රථ 4ක, යතුරු පැදි 3ක, ටිපර් රථයක හා කුඩා ලොරියක ගැටීමෙන් අනතුර සිදුවුණි.

සිමෙන්ති මිශ්‍රණ රථය ට්‍රාන්ස්ෆෝමරයක ද ගැටී ඇති අතර අනතුරට ලක් වූ යතුරු පැදියක් ගිනිගෙන ඇතැයි සඳහන් වේ.

මියගිය පිරිස අතරට පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත් වේ.

මියගොස් ඇත්තේ 38 හා 51 හැවිරිදි අලවතුවල හා අකුරණ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු හා 16 හා 28 හැවිරිදි මාතලේ හා අකුරණ ප්‍රදේශවල පදිංචිකාරිනියන් දෙදෙනෙකි.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest