රටම එකට ජාතික මෙහෙයුම.. සැකකරුවන් ලක්ෂ තුනක් අත්අඩංගුවට

“රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කළ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර සැකකරුවන් 302,218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

පසුගිය 2025 ඔක්තෝබර් (30) වැනිදා සිට 2026 ඔක්තෝබර් (18) වැනිද‍ා දක්වා කාලය තුළ හෙරොයින් වැටලීම් 97,074ක් සිදුකර හෙරොයින් කිලෝග්‍රෑම් 2,485.1ක් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 18,710ක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,032.07ක් අත්අඩංගුවට ගෙන ඇති අතර කොකේන් වැටලීම් 261කින් කොකේන් කිලෝග්‍රෑම් 297.1ක් ද, ගංජා වැටලීම් 65,765කින් ගංජා කිලෝග්‍රෑම් 11,146ක් සහ ගංජා පැළ මිලියන 16.7ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

තවද කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම් 21,323කින් කුෂ් කිලෝග්‍රෑම් 1,723ක්, හෂීස් කිලෝග්‍රෑම් 416ක් සහ මත් පෙති මිලියන 4.5ක් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම මෙහෙයුම යටතේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 449 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 3,749 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,580කි.

2026 ජනවාරි (01) වැනිදා සිට ඔක්තෝබර් (16) වැනිද‍ා දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1,469ක්, ගංජා කිලෝග්‍රෑම් 7,703ක්, කොකේන් කිලෝග්‍රෑම් 272ක්, හෂීස් කිලෝග්‍රෑම් 857ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,649ක් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest