නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෝ 59ක්.. විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

එයාර්බස් ගනුදෙනුවේදී රුපියල් කෝටි දහයක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 24ක් යටතේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව අද (27) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම අධිචෝදනා 24ක් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර ඇති බවත් අදාළ අධිචෝදනා පත්‍රය මඟින් සාක්ෂිකරුවන් 59 දෙනෙකු නම් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේය.

නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර පවත්වාගෙන යනු ලබන මෙම නඩුව අද (27) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය.

බරපතළ මූල්‍ය හා ආර්ථික අපරාධ විභාග කිරීම පිණිස සම්මත කර ඇති අධිකරණ සංවිධාන පනත යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර නඩුව විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මඬුල්ලක් පත්කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel