ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට එකග වී ඇත.
ඒ අනුව ඩොලර් මිලියන 100ක් ලබාදී ඇත්තේ, ජල සුරක්ෂිතතාව, දේශගුණික ප්‍රතිරෝධීතාව, පරිසර තිරසරභාවය, ජල අංශය මුල්‍යමය ශක්තිමත්භාවය වෙනුවෙන්ය.
ඉතිරි ඩොලර් මිලියන 100ය නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා යෙදවීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ ප්‍රතිඵල පාදක මුල්‍යකරණ ක්‍රමවේදය මත පදනම් වූ නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වන ලදී.
මෙම ණය මුදල් ද්වීතීයික අධ්‍යාපන මට්ටමේ නිපුණතා මාර්ග ශක්තිමත් කිරීම, ගුණාත්මක හා රැකියා කේන්ද්‍රීය වෘත්තීය නිපුණතා පුහුණුව පුළුල් කිරීම, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රයේ කර්මාන්ත හා පෞද්ගලික අංශ සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ TVET ක්ෂේත්රයෙහි පාලනය ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනේ. මෙම වැඩසටහන 2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දැනට පවතින මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනය මෝටර් රථ තාක්ෂණය සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් (Centre of Excellence) බවට උසස් කිරීම හා TVET මධ්‍යස්ථාන 09ක් කලාපීය මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ TVET ක්ෂේත්රය නවීකරණය කිරීම මෙම වැඩසටහන මඟින් අරමුණු කරයි.
මීට අමතරව, තවත් පුහුණු මධ්‍යස්ථාන 40ක පහසුකම් සංවර්ධනය කරමින් ඉගෙනුම් ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ගුණාත්මක පුහුණුව සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සිදු කෙරේ.
තවද, රැකියා වෙළඳපොළේ අවශ්‍යතා සමඟ ගැළපීම සහතික කිරීම සඳහා ජාතික නිපුණතා ප්රමිතීන් 200 ක් (National Competency Standards), විෂයමාලා සහ ඉගෙනුම් ආදර්ශ යාවත්කාලීන කිරීම කරනු ඇත.
එයට අමතරව මතු වෙමින් පවතින නිපුණතා අවශ්‍යතා සපුරාලීම සඳහා ප්රමුඛ වෘත්තීන් සහ ක්ෂේත්‍ර සම්බන්ධ නව පාඨමාලා හඳුන්වා දෙනු ලැබේ.
තවද, සේවාස්ථාන පදනම් කරගත් පුහුණුව සඳහා ප්රමිතීන් ස්ථාපිත කරනු ලබන අතර, නිපුණතා පදනම් කරගත් වෘත්තීය සංවර්ධන වැඩසටහන් මඟින් TVET ගුරුවරුන්ගේ හැකියාවන් ශක්තිමත් කරනු ඇත.
එමෙන්ම, ප්‍රතිපත්තිමය, මූල්‍ය හා ඩිජිටල් ප්‍රතිසංස්කරණ මඟින් නිපුණතා සංවර්ධනයෙහි කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ප්‍රවේශය තවදුරටත් වැඩි දියුණු කරනු ඇත.
එයට අමතරව පෞද්ගලික පුහුණු සැපයුම්කරුවන් විසින් පුහුණු සේවා පුළුල් කිරීමට අදාළව කරනු ලබන මූල්‍යකරණ වැඩසටහන් සඳහා ද සහාය ලබා දෙනු ඇත.
ඩිජිටල් පරිවර්තන මුලපිරීම් යටතේ ඊ – ඉගෙනුම් වේදිකාවක් (e-learning platform) සහ කම්කරු වෙළඳපොළ හා පාසල් කළමනාකරණ තොරතුරු පද්ධති සමඟ සම්බන්ධ වූ ඒකාබද්ධ පුහුණු කළමනාකරණ තොරතුරු පද්ධතියක් සංවර්ධනය කරනු ඇත.
මෙය ද්වීතීක මට්ටමේ නිපුණතා මාර්ග ශක්තිමත් කිරීමට මෙන්ම සිසුන්ට පුහුණු විකල්ප පිළිබඳ තීරණ ගැනීම සඳහා උපාය මාර්ගික වෘත්තීය මාර්ගෝපදේශන සේවාවන් ලබා දීමට ද උපකාරී වනු ඇත.
ඒ අනුව, ඉහත මුල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා වූ ණය ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විසින්ද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් විසින් 2026 නොවැම්බර් (06) වන දින කොළඹ මහ භාණ්ඩාගාර පරිශ්‍රයේදී අත්සන් තබන ලදී.
