පාස්කු ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග ලැබ සිටින හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ සහ අසාද් මවුලානා අතර තිබු සමීප සබඳතාව පිළිබඳව මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී ඇතැයි අධිකරණයේදී හෙළිවිය.
2020 වසරේ සුරේෂ් සලේ සහ අසාද් මවුලානා පවුලේ සාමාජිකයන් සමග අහුංගල්ල ප්රදේශයේ හෝටලයක රැදී සිට ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී හෙළිකරයි.
පාස්කු ත්රස්ත ප්රහාරයට අදාළව හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ නැවත කැඳවනු ලැබුවේය.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී සඳහන් කළේ,
“ස්වාමීනී, මේ තුන්වැනි සැකකරු ප්රකාශ ලබාදීලා තිබෙන්නේ අසාද් මවුලානා සමග කිසිදු සබඳතාවයක් තිබ්බේ නෑ කියලා. නමුත් සිදුකළ විමර්ශන මගින් අසාද් මවුලානා සහ සුරේෂ් සලේ අතර සමීප සබඳතාවයක් තිබූ බවට අනාවරණය වෙලා තියෙනවා.
සුරේෂ් සලේ ඇතුළු පවුලේ 10 දෙනෙක්, එක් ලක්ෂ තිස් දාහස් නවසිය හතලිස් හතරක් වියදම් කරලා කාමර 04ක් අරගෙන තිබෙනවා අහුංගල්ල ප්රදේශයේ හෝටලයකින්. මෙම තුන්වන සැකකරු තමයි 2020/07/20 එම කාමර බුක් කරන්නේ. 2020/08/15 සහ 2020/08/16 කියන දවස් දෙකේ ඉන්න තමයි මේක වෙන් කරන්නේ.
2020/08/14 අසාද් මවුලානාත් ඒ හෝටලයේම කාමර බුක් කරලා තිබෙනවා. ඒ 2020/08/15 දිනයේ එන්න. ස්වාමීනි, ඉතින් දුරකථන සබඳතා පවත්වන්න ඕනේ නෑනේ. මොකද ඒ දවස්වල දෙන්නම හිටියේ එකට එකම හෝටලේ. එතකොට ඉතින් කතා කරගන්න ඇතිනේ ඕන දේවල්.
නමුත් මොහු ප්රකාශ නම් ලබාදීලා තිබෙන්නේ හෝටලයේ ඉද්දි අහම්බෙන් දැක්කා කියලා. මේ තුන්වැනි සැකකරුට සිම්පතක් සිලෝන් ශිපින් නම් නැව් සමාගමක නමින් ලියාපදිංචි කරගෙන භාවිතා කර තිබෙනවා. එම සිම්පත මගින් තමා තූන්වැනි සැකකරු අසාද් මවුලානා සමග දිගටම කතාකරලා තියෙන්නේ.
මොහු මේ සිම්පත රණවිරු ක්රියාවලට නෙවෙයි, මැරවිරු ක්රියාවලට තමා පාවිච්චි කරලා තියෙන්නේ.”
අනතුරුව නඩුව ජනවාරි (27) වැනිදා නැවත කැඳවීමට මහේස්ත්රාත්වරයා දින නියම කළේය.
