මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට ඉහළින් ඉදිකර ඇති ‘රන් වියන’ ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (20) දින සුබ මොහොතින් නිරාවරණය කළේය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩ හිඳින ගෞතම බුදුපියාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වඩා හිඳුවා ඇති මැදුරට සෙවන දෙමින්, ඊට ඉහළින් ඉදිකර තිබෙන රන් වියනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 2025 වසරේදී ආරම්භ කෙරිණි.
ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් ඉදිකරන ලද මාලිගය අභ්‍යන්තරයේ වූ දෙමහල් ප්‍රාසාදයේ වැඩ සිටින වාම ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද මෙම රන් වියන, කාලයා ඇවෑමෙන් රන්පත් පියලි අවර්ණ වී ක්ෂය වීම හේතුවෙන් පෙර තිබූ දිස්නය හා අලංකාරය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණි.
යුග ගණනාවක් පුරා උතුම් දන්ත ධාතූන් වහන්සේ උදෙසා රාජකීය පුදසත්කාර නිරතුරුවම පිරිනැමේ. එය අර්ථවත් කරමින් 1987 වසරේදී, එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස විසින් ශ්‍රී දළදා මාලිගය වෙත මෙම රන් වියන සාදවා පූජා කරන ලදී.
ඒ, ශ්‍රී දළදා මාලිගයේ අභ්‍යන්තරය සහ ඉදිරිපස ප්‍රදේශය තවත් අලංකාර කිරීමත්, ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින්ය. එහි මූලික සැලසුම් සකස් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (State Engineering Corporation) මඟින් සිදුකළ අතර, ඉංජිනේරු ගැමුණු සිල්වා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.
එම සංකීර්ණ හා අභියෝගාත්මක ඉංජිනේරු සැලැස්ම සාර්ථක කර ගැනීමට ඔහු ප්රමුඛ දේශීය හා විදේශීය ඉංජිනේරු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා එම නිර්මාණය ඉදිකොට නිම කළහ.
මෙම අභිනව ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමෙන් අනතුරුව, අද (20) දින රන් වියන යළි නිරාවරණය කිරීමේ උත්සවය පැවැත්විණි.
ඒ සඳහා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ උභය මහාවිහාරීය ගරුතර මහා සංඝරත්නය, තායිලන්ත ථෙරවාද බෞද්ධ පැවිදි සම්ප්රදායේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ භාවනා ආචාර්යවරයකු හා ආධ්‍යාත්මික ගුරුවරයකු වන තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ අතිපූජ්‍ය ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්රමුඛ තායි දූත පිරිස, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇතිව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ මඟපෙන්වීමෙන් යුතුව, විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකරන ලද මෙවර ප්‍රතිසංස්කරණ කටයුතුවලදී, වර්ග අඩි 2,900කින් යුත් රන් වියනේ සමස්ත පෘෂ්ඨය කැරට් 24 රන් මොසැයික් තාක්ෂණය උපයෝගී කරගනිමින් අලංකාරවත් සහ කල්පවත්නා ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී.
ඒ සඳහා ලෝක ප්‍රකට ඉතාලි සමාගමක තාක්ෂණික උපදෙස්, සැලසුම් සහ යෝජනා සැලකිල්ලට ගැනුණු අතර, ලොව ප්රමුඛ පෙළේ ඉංජිනේරු සමාගම් කිහිපයක උපදේශකත්වය ද, දේශීය සමාගම් ගණනාවක දායකත්වය ද ව්‍යාපෘතිය සඳහා හිමි විය.
එමෙන්ම රන් වියනේ ලෝහමය සැකිල්ල ද ඉංජිනේරු පරීක්ෂාවකින් අනතුරුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතුවලට ලක් කළ අතර, රන් නෙළුම්මල් සහ සියලු අලංකරණයන් යළි ප්‍රතිසංස්කරණය කරන ලදී.
රන් වියනට ඉහළින් ඇති කොත් කැරලි ද්විත්වය, ලෝක ප්‍රකට ස්වර්ණාභරණ සමාගමක් වන සිංගප්පූරුවේ රෝයල් ඉන්සිග්නියා (Royal Insignia) සමාගම විසින් දඹරනින් නිර්මාණය කරන ලද අතර, රන් වියන වෙත ජපානයේ ඉවාසාකි සමාගමේ High-Beam Eye Light ආලෝකකරණ පද්ධතියකින් ආලෝකය සැපයීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී දළදා මාලිගාවේ දෘශ්‍ය අනන්‍යතාවක් බඳු වූ මෙම රන් වියන, මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වන, අතිශය අලංකාර හා වාස්තු විද්‍යාත්මක අතින් වැදගත් වන නිර්මාණයකි.
මෙම රන් වියන මින් පෙර 2002 සහ 2018 යන වර්ෂවලදී අවස්ථා දෙකකදී ප්‍රතිසංස්කරණය කරන ලදී.


