ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්රදේශයේදී වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පිරිසකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අදාළ වෑන් රථය පැහැරගෙන යන බවට එහි හිමිකරු විසින් අද (28) දින අවිස්සාවෙල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර අනතුරුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇත.
එහිදී අදාළ නිලධාරීන් විසින් වෑන් රථය නතර කිරීමට කටයුතු කළද, එය නොනවත්වා ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ වෑන් රථය පසුපස හඹාගිය පොලිසිය, එය ඇහැළියගොඩ පරකඩුව අඟරුවංගුව ප්රදේශයේදී නතර කරගැනීමට සමත්ව ඇත.
එම අවස්ථාවේ එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර තවත් සැකකරුවෙකු පොලිසියට පහරදී පළායාමට උත්සහ කර ඇති බව සඳහන් වන අතර එහිදී පොලිසිය විසින් සැකකරු පාලනය කිරීම සදහා වෙඩි තැබීමක් සිදුකර ඇත.
කෙසේ වෙතත් පළාගිය සැකකරු සොයා පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
