Local news

ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා.!

ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව නායකයින් අතර මෙම් සාකච්ඡා පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද FCIDයට එන්න බෑ කියයි.!

අද FCIDයට එන්න බෑ කියයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද (20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී ඇත.

ඒ අනුව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට තවත් සති දෙකක කාලයක් ඉල්ලා ඇත.

සෞඛ්‍ය හේතුන් මත මෙලෙස පැමිණීමට නොහැකි බව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබාදී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ ලබා ගන්නා ලෙසට එමගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කරයි.!

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කරයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පසුගිය (17) වනදා පැවැත්වුනු අතර එය වැඩි ඡන්දයෙන් සම්මත විය.

අනතුරුව අදාළ පනත් කෙටුම්පත සදහා කතානායකවරයා අත්සන් තැබු අතර පසුව එය මෙලෙස පනතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරන පනතේ 09 වන වගන්තිය ප්‍රාකාරව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව විශ්‍රාම වැටුප් ලැබීම නතර විය යුතු බවයි අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි.

රෝගය මාරාන්තිකයි.. වහාම ප්‍රතිකාර ගන්න.!

රෝගය මාරාන්තිකයි.. වහාම ප්‍රතිකාර ගන්න.!

වර්තමානය වනවිට සුනඛයින්ට අමතරව, බළලුන් සපාකෑම් ප්‍රමාණය බෙහෙවින් ඉහළ ගොස් ඇති බවත් ජලභීතිකාව මාරාන්තික රෝගයක් බැවින් කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ගත යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ (18) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.

පසුගිය වසරේ සිදුව ඇති මරණ ගැන සලකා බැලුව හොත් බහුතරයක් සිදුව ඇත්තේ නිවෙස්වල සුරතලේට ඇති කරන සතුන් හේතුවෙන් බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කරයි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කළේ,

“අපගේ බලාපොරොත්තුව 2030 වන විට ජලභීතිකා රෝගයෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව බිංදුව කිරීම. රෝග ලක්ෂණ පහළ වුවොත් එය 100% ක්ම මාරාන්තිකයි.

අපි නිසි ක්‍රියා මාර්ග, නිසි වෙලාවට ගත්හොත් මෙම රෝගය මුළුමනින්ම පාහේ වළක්වා ගත හැකියි. පසුගිය වසරේ දී ජලභීතිකා රෝගය නිසා මරණ 14ක් සිදුව තිබෙනවා.

මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ සුනඛ සපා කෑම් හේතුවෙන්. 
බළලුන් සපා කෑම හේතුවෙන් එක් මරණයක් සිදුව තිබෙනවා. දැන් බළලුන් සපා කෑම් ප්‍රමාණය ද ඉතා විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා.

විශේෂයෙන්ම කොළඹ, ගම්පහ වගේ දිස්ත්‍රික්කවල දකින්න ලැබී තිබෙනවා බළලුන් අතරේ ජලභීතිකාව ඉහළ යෑමක්. අනික බළලුන්ගේ සීරීමකුත් සපා කෑමක් තරමටම දරුණුයි.

මොකද ආසාදිත සතෙකුගේ ඛේටය අපේ හම හරහා ඇතුළු වුනාම තමයි බොහෝ විට මෙම රෝගය බෝ වෙන්නේ. ඊට අමතරව අපේ ශ්ලේෂ්මල පටල, අපේ ඇස්, කට, මුව, නාසය, ලිංග ප්‍රදේශය, ශ්ලේෂ්මල පටල හරහා තුවාලයක් නැතුව වුනත් මේ වෛරසයට අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්.

සම මත තියෙන තුවාල සතුන් ලෙව කෑවොත් ඒත් අපිට මේ රෝගය ඇති වෙන්න පුළුවන්. සතෙක් හැපුවොත්, සීරුවොත් නැත්නම් මම සඳහන් කළ පරිදි අපේ තුවාලයක් සතෙක් ලෙව කෑවොත් වහාම ගලා යන ජලයෙන් සබන් දාලා මිනිත්තු 15ක් සේදිය යුතුයි.

ඊට පස්සේ අපි ළඟ තියෙනවා නම් සර්ජිකල් ස්පිරිට්තු. අපි කියනවා 70% මධ්‍යසාර දියරය. එහෙම නැත්නම් අයිඩීන් තිබෙනවා නම්, සෝදලා ඉවර වෙලා ඒකත් යොදලා වහාම තුවාලේ පිරිසිදු කරන්න.

පසුව වහාම ළඟම තියෙන රෝහලට ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. තමුන්ගේ සුනඛයෙක් තව කෙනෙක්ව සපා කෑවොතින් පූර්ණ වගකීම පැවරෙන්නේ සුනඛයාගේ අයිතිකරුට. ඒක නීතිමය වගකීමක්.

මේ වෛරසය ගමන් කරන්නේ ලේ වලින් නෙමෙයි. මේ වෛරසය ගමන් කරන්නේ ස්නායු හරහා. බල්ලෝ, පූසෝ, නරි, ලේන්නු, දඬුලේන්නු, උගුඩුවෝ, මුගටි, හරක්, අශ්වයෝ මේ ඕනෑම සතෙක් සපා කෑමෙන් බෝ වෙන්න පුළුවන්. ඌරු මීයෝගෙනුත් අනිවාර්යෙන් ජලභීතිකාව බෝ වෙන්න පුළුවන්.”

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය පලා යාමේ සිද්ධියට පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්.!

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය පලා යාමේ සිද්ධියට පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්.!

ගල්කිස්ස මූලස්ථාන පොලීසිය අත්අඩංගුවේ සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලායාමේ සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ සහ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනමට ලක්කර ඇත.

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ රාත්‍රී කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සහ උපසේවක ලෙස රාජකාරී කළ සැරයන්වරු දෙදෙනා සහ සැකකාරියගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරිය බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් විසින් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනිය පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇය සතුවූ හෙරොයින් ප්‍රමාණය මිලිගෑම් 36,650ක් තිබී ඇත.

සැකකාරිය රැදවුම් නියෝග මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා සිටියදී පසුගිය (16) වැනිදා ශාරීරික අවශ්‍යතාවයක් ඇති බව පවසා කොස්තාපල්වරියක් සමග වැසිකිලියකට යාමේදී ඇය අත්අඩංගුවෙන් මිදී මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක නැග පලා ගොස් ඇත.

කෙසේ වෙතත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පැය 8කට පසු එදිනම තලවතුගොඩ කිඹුලාඇල ප්‍රදේශයේදී පලාගිය සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

ජනපති අනුර රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි.!

ජනපති අනුර රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින පස්වරුවේ සිදුවිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බ්‍රසීලයේ ජනාධිපති Lula da Silva අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින පස්වරුවේ සිදුවිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ භූතානයේ අගමැති Tshering Tobgay අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින පස්වරුවේ පැවැත්විණි

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදුවිය.

පැසිෆික් නාවික බල ඇණියේ ප්‍රධානියා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි.!

පැසිෆික් නාවික බල ඇණියේ ප්‍රධානියා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි.!

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණියේ අණදෙන නිලධාරී, අද්මිරාල් Stephen T. Koehler අද (19) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

එහිදී පැවති සුහද සාකච්ඡාවේදී ඉන්දීය සාගර කලාපයේ විකාශනය වන ආරක්ෂක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, සාගර කලාප ආශ්‍රිතව ඇති වෙමින් පවතින අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය දෙපාර්ශ්වයේ නිලධාරීන් විසින් යළිත් තහවුරු කරන ලදි.

සාගර කලාපිය දැනුවත්භාවය ඉහළ නැංවීම, තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම මෙන්ම ස්වභාවික ආපදා සහ මානුෂීය ආධාර අවශ්‍ය කෙරෙන හදිසි අවස්ථාවන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කරනු ලැබීය.

නීති විරෝධී ජාවාරම් මෙන්ම අනෙකුත් නූතන ආරක්ෂක තර්ජන මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ඇමරිකා එක්සත් ජනපද දුත පිරිස මෙහිදී යළි තහවුරු කළහ.

එමෙන්ම, පුහුණු හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ ක්‍රියාකාරකම් හරහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවන් ශක්තිමත් කිරීම පිළිබඳව ද, දෙපාර්ශවය විසින් කරුණු සමාලෝචනය කරන ලදි.

ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන දිගුකාලීන සහයෝගය සහ පරිත්‍යාගයන් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා එහිදී සිය කෘතඥතාව පළ කළේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්හි ධාරිතාවන් ශක්තිමත් කිරීම සඳහා TH-57 Sea Ranger හෙලිකොප්ටර් යානා 10 ක් සහ B – Type Reliance පන්තියට අයත් අඩි 210 ක දිගින් යුත් ‘කටර්’ (Cutter) වර්ගයේ යුද නෞකාවක් ලබා දීම මෙන්ම දිවයිනට බලපෑ “දිත්වා’ සුළි කුණාටු තත්ත්වයේදී විවිධ ආපදා සහන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ලබා දුන් විශිෂ්ඨ සහයෝගය ද මෙහිදී ඇගයීමට ලක් කළේය.

ලාෆ් ගෑස් ගැන දැනුම්දීමක්.!

ලාෆ් ගෑස් ගැන දැනුම්දීමක්.!

සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම නිවේනදයක් නිකුත් කර ඇත.

වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බව සඳහන් කරයි.

එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණ කටයුතු කරන බවද එම සමාගම සඳහන් කරයි.

දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද සඳහන් කරයි.

ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් සිලින්ඩර පිරවුම් පර්යන්තයේදී එම ගෑස් සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බවද එම සමාගම සඳහන් කරයි.

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය.!

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය.!

කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

AI පහසුකම් අඩු වියදමකින් ලබාගත හැකි වීම, මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම්, ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් කරගත් කලාපීය සහයෝගීතාවක් ශ්‍රී ලංකාව යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්‍ය නායක සැසියේ සමාරම්භක අවස්ථාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්‍රසීල ජනාධිපති Lula de Silva සහ භූතානයේ අගමැති Tshering Tobgay ඇතුළු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් ඊට එක් වූහ.

AI Impact 2026 සමුළුවේ නායක සැසියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය,

“කෘත්‍රිම බුද්ධිය විසින් ආර්ථිකයන්, රාජ්‍ය පාලන පද්ධති සහ සමාජයන් වෙනස් කරමින් පවතින මේ සුවිශේෂී මොහොතේ නවදිල්ලියේදී ඔබත් සමඟ එක් වීමට ලැබීම මට මහත් ගෞරවයක්. AI තාක්ෂණය පසුගිය සියවස්වල කාර්මීකරණය විසින් ඇති කළ ආකාරයටම ජාතික වර්ධන ගමන් මඟ කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන පරිවර්තනීය බලවේගයක්.

නමුත් AI තාක්ෂණයෙන් සවිමත් රටවල් සහ එවැනි හැකියාවක් නොමැති රටවල් අතර වැඩි වෙමින් පවතින පරතරය බොහෝ රටවල ඩිජිටල් ආර්ථිකයේ වියුක්ත කිරීමේ බරපතළ අවදානම නිර්මාණය කරනවා. මේ ආකාරයට පසුබසින රටවල් ගෝලීය වර්ධනය සහ නව්‍ය ආර්ථික අවස්ථාවලින් තවදුරටත් විවිධ අතුරු බලපෑම්වලට ලක් විය හැකියි. එමඟින් අපි අපේක්ෂා කරන සියලුදෙනා ඇතුළත් සාධාරණ සහ තිරසාර සංවර්ධන අරමුණුද අවදානමට ලක් වෙනවා.

බොහෝ නැඟී එන ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාවත් AI තාක්ෂණය සම්පූර්ණ ලෙස භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් තවමත් සම්පූර්ණ කරගෙන නැහැ. ඒ නිසා නිසි අභිප්‍රායක් සහ දැක්මක් සමඟින් අප විශ්වාසයෙන් හා නොපැකිළිව ක්‍රියා කළ යුතු තීරණාත්මක් මොහොතක් එළැඹ තිබෙනවා.

තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ තරුණ මානව සම්පතක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. එමෙන්ම අපිට ශක්තිමත් නීති පද්ධතියක් සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සමඟ බැඳුණු ආර්ථික සංස්කෘතියක්ද තිබෙනවා. අපි පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ සයිබර් ආරක්ෂණය පිළිබඳ නීතිමය රාමු නවීකරණය කරමින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් නවෝත්පාදන දිරිමත් කරන මහජන විශ්වාසය රැකගත හැකි ආයතන ශක්තිමත් කරමින් සිටිනවා.

ලෝකයාද AI තාක්ෂණයේ අභිප්‍රායන්, අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ විවාද කරමින් සිටිනවා. එහෙත් මෙහිදී මෙතෙක් මඟහැරී ගිය තීරණාත්මක පැතිකඩක් පෙන්වා දීමට කැමතියි. එනම් සංස්කෘතික ගැලපීමයි. මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනයට මේ තාක්ෂණයන් ඉවහල් කරගත යුතුයි.

ලෝක මට්ටමේ AI තාක්ෂණය භාෂා හා මතවාදයන් කිහිපයකට පමණක් සීමා වුවහොත් අපේ අනන්‍ය වු සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් පවතිනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලට තම භාෂාව සහ සංස්කෘතිය යනු ගෞරවය මෙන්ම විශ්වාසයේ පදනමයි. මෙවැනි සංස්කෘතික ගැලපීමක් සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් අන්තර්ග්‍රහණය සහ සංරක්ෂණය සිදු වීම අවශ්‍යයි. මෙහිදී අපගේ දේශීය භාෂා සහ සංස්කෘතික දැනුම ඩිජිටල්කරණය කර ඒවා කෘත්‍රි බුද්ධිය පද්ධති තුළට බද්ධ කළ යුතුයි.

එමෙන්ම ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ උපරිම අවධානය යොමු වීම වැදගත්. අපේ සංස්කෘතික වටිනාකම්වලට AI මගින් සිදුවන අහිතකර බලපෑම්වලින් ආරක්ෂාවීමේ පද්ධති ස්ථාපිත කළ යුතු වෙනවා.

අපගේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවෙයි. ඒකාබද්ධ වීමයි. AI යටිතල පහසුකම් අපි දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙසයි. ඒ නිසා ශ්‍රී ලංකාව කලාපීය සහයෝගීතාවක් යෝජනා කරනවා. එහිදී එය අඩු වියදමකින් ලබාගත හැකි වීම, මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම් මෙන්ම ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් වීම ඉතා වැදගත්.

මේ ප්‍රයත්නය මගින් AI හි ප්‍රතිලාභ වෙත අප සැමට පුළුල් හා සාධාරණ ලෙස ප්‍රවේශ විය හැකි බව මාගේ විශ්වාසයයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ජාතික මෙන්ම කලාපීය මට්ටමේ අවශ්‍යතාද සපුරලිය හැකි AI හැකියාවන්ගෙන් යුත් දත්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ ගවේෂණය කරමින් සිටිනවා.

ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ තාක්ෂණික කුසලතා පිළිබඳව ගෝලීය නායකත්වයන් අත්පත් කර ගනිමින් සිටින ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ සමීපව කටයුතු කරමින් තිරසාර, ආරක්ෂිත සහ අනාගතයට සූදානම් කලාපීය AI දත්ත මධ්‍යස්ථාන ධාරිතාවන් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට විශාල විභවයක් තිබෙනවා.

කිසිදු රටකට AI සඳහා සූදානම් අනාගතයක් තනිව ගොඩනඟාගත නොහැකි බව අපගේ වැටහීමයි. ලෝකය සහ මෙම කලාපයේ රාජ්‍යයන්ගේ අදහස් රැසක් සැලකිල්ලට ගනිමින් අප විසින් නවදිල්ලියේදී එකඟවන ඒකාබද්ධ ප්‍රකාශයේ මෙම සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කර තිබීම සතුටට කරුණක්.

ඒ නිසා කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සුදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි.”

ගණේමුල්ල සංජීව ඝාතනයේ නීතීඥවරියගේ තවත් හොර වැඩක් මාට්ටු.!

ගණේමුල්ල සංජීව ඝාතනයේ නීතීඥවරියගේ තවත් හොර වැඩක් මාට්ටු.!

සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එම නීතිඥවරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අදාල බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම බැංකු ගිණුම් විවෘත කර තිබෙන බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කරයි.

මෙම බැංකු ගිණුම් හරහා විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

✕
⌃ News
📰 Free News Subscription?