Local news

“රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට ඉඩ දෙන්නේ නෑ” ජනපති අනුර ජාතිය අමතයි.!

“රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට ඉඩ දෙන්නේ නෑ” ජනපති අනුර ජාතිය අමතයි.!

සියවස් ගණනාවක් පුරා යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මුත්තන් තමන්ගේ ලේ, කඳුළු, දාහඩිය මාතෘභූමියට පුජා කළ අතර එය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අද (04) උදෑසන 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අද අපි සමරනු ලබන්නේ 78 වන නිදහස් සමරුවයි. අවුරුදු 133ක ඉතාමත් කුරිරු පීඩාකාරී, කොල්ලකාරී යටත් විජිත පාලනයෙන් 1948 අපේ නිදහස ලැබු වසරයි. ඒ වගේම සියවස් ගණන් පුරා යටත් විජිත වාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ, කදුළු, දහඩිය මේ මාතෘ භූමිය වෙනුවෙන් පූජා කරනු ලැබූවා.”

“අපි ජීවිතේ විවිධ අවදීන්ට මුහුණදෙනවා බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරනවා. අරගලවල නිරත වෙනවා. එය සාමාන්‍ය දෙයක්. එහෙත් යම් කිසිවෙක් මාතෘභූමිය වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම් ඔවුන් සැබවින්ම විරෝධාර විරුවන් බවට පත්වෙන එක වළක්වන්න බෑ.”

“අපි අද දෙපය තබාගෙන සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සටන් වැදුණු මුතුන් මිත්තන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් මේ මහ පොළොව තෙත් වෙලා. ඔවුන්ගේ ලේ, කඳුළුවලින් මේ මහ පොළොව තෙත් වෙලා. ඒ නිසා ඔවුන් අපේ හදවත් තුළ වීරත්වයේ ඉහළම අසුනක අසුන්ගෙන සිටිනවා. ඒ නිසා අපේ මව්බිමේ නිදහස හා ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝධාර වීරවරියන් වීරවරුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය හා ගෞරව පුද කළ යුතුයි.”

“අපිට නිදහසේ පරිපූරණත්වය සඳහා වූ සටනක් හා අරගලයක් තියෙනවා. ඒ අරගලය ඇත්තේ අප, ඔබ, මා තුළම බවට මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර නිදහස් දිනයේ ප්‍රධාන තේමාව වුයේ ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, අපේ ස්වෛරීයභාවය මත යළි ගොඩනැඟිය යුතුයි. ඒ යළි ගොඩනැඟීමේ දී අපේ සාරය බවට පත්වන්නේ, අප ඉතාමත පෞඩ ඉතිහාසයකට උරුමකන් කියනවා.

අපේ මුතුන්මිත්තන් ඒ යුගයට ගැලපෙන අයුරින් ඉතාම ඉහළ තාක්ෂණික දැනුමින් හෙබි බව ඉතිහාස ගත කරුණු අපට පෙන්නුම් කරලා තියෙනවා. අපිට ශ්‍රේෂ්ඨ පෞඩත්වයක්, ඉතිහාසයකට උරුමකන් කියන ජාතියක්. ඒ වගේම මෑත ඉතිහාසයේ මේ සියල්ලන්ගෙන්ම බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තියෙන අතර, අපි අත්පත් කරගත යුතු සාධනීය ලක්ෂණ රැසක් තියෙනවා.

අප ශ්‍රී ලංකාව ගොඩනැඟිය යුතු මාවත වන්නේ, අපේ මාතෘභූමිය සමඟ තිබෙන අයින්ද්‍රීය සබඳතාවයන් අපේ ජාතිය ගොඩනැඟීමේ දී ඉතිහාසය විසින් එක්කර තිබෙන මහාසාරය මේ මහ පොළොව මත යළි ප්‍රතිෂ්ඨාපනය කරන මාවත තමා අපේ ආර්ථිකය ගොඩනඟන මාවත ලෙස තෝරාගන්නේ. එය හුදු මාතෘභූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘභූමියේ, ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟෙන මාවතට අපි අවතීර්ණය විය යුතුයි.”

“නිදහසෙන් පසු 78 වසර තුළ ජය පරාජයන් තියෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිලෙන්නේ නෑ. ඒ වගේම හොඳ දේ උකහා ගන්න බිය වන්නේ නෑ. ඒ නිසා අතීතයේ සාරවත් දෙය මත මේ රාජ්‍ය, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප, ඔබ,මා සතු බව විශ්වාස කරනවා.”

“අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමඟ උරින්උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය. බෙඳීම වෙනුවට සමගිය පෙරදැරි කරගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එහිදී කලාව, සාහිත්‍ය, ඉතිහාසය මෙන්ම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේ දී වැදගත්.

අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනැඟීමට දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සුදානම්. පැරණි අගතීන් මොනතරම් ප්‍රමාණයට එම නව මිනිසා ගොඩනැගීමට දරන ප්‍රයන්තනයට බාධා කරන්නේ නම් ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරය ඉටුකිරීමට අපි සුදානම්. එයට මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා.”

“මානව ශක්තිය ප්‍රධාන ශක්තියක් වන බව ඇත්ත. ඒ ශක්තිය රඳා පවතින්නේ අපේ සමගිය මත පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තිය දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය නිර්මාණය වුවහොත් අපේ ප්‍රධානතම ශක්තිය දුබල වෙනවා.”

“අපේ ශබ්ද කෝෂයේ ඇති අවලස්සනම වචන දෙක ජාතිවාදය හා අන්තවාදයයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ දෙකෙන් සිදුවිය හැක්කේ අපි සතු ශක්තිය ස්වයං ලෙසම විනාශ කර ගැනීම හා දුබල කරගැනීමයි. අපි අපේ රටේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩනොදෙන බවත්, ජාතික සමගිය අපේ රටේ ගොඩනඟනවා.”

“ශ්‍රී ලංකාව ගොඩනැංවීමේ දී ගොඩනඟමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ නීතියේ ආධිපත්‍ය නිසිලෙස තහවුරු කිරීමෙනි.”

“අපේ රට යළි ජාත්‍යන්තරය තුළ ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පත්කිරීම ඉතාම වැදගත් සාධකයක්. මේ කුලුනු මත අපේ රාජ්‍ය ගොඩනැඟිය හැකියි. නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධති විනාශ වූ තැනක, සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බීජය ගොඩනඟමු යන තේමාව යථාර්ථයක් කළ නොහැකිය. ඒ නිසා අපේ අධිෂ්ඨානය විය යුත්තේ අපේ රට ගොඩනැගීමට අවශ්‍ය පදනම නිර්මාණය කිරීම. ඒ කුලුනු මත අපි ශක්තිමත් නොසැල්වෙන ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි.”

අගමැති හරිනිගේ නිදහස් දින පණිවිඩය.!

අගමැති හරිනිගේ නිදහස් දින පණිවිඩය.!

78 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙනි. සියලු ජනතාව එක් ව ගොඩනැගූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අපි මේ වනවිට අලුත් මඟකට අවතීර්ණ වී සිටිමු.

මානුෂීය ගුණාංගවලින් පිරිපුන්, කුසලතා පූර්ණ, බුද්ධිමත් අනාගත පරපුර උදෙසා අප දේශය ගොඩනැගීමේ කාර්යය මේ වනවිට රජය ආරම්භ කර තිබේ. සාරධර්මවලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත්, සාමුහිකවත් ඔබ සැමගේ දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලය එළැඹ ඇත.

සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් හරහා දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවයෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස ජනතාව මෙහෙයවීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම ඇතුළු ප්‍රමුඛ පරමාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙන් අපි කැපවී සිටිමු.

අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිදු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීමත්, නවීන විද්‍යා හා තාක්ෂණ දියුණුව ඔස්සේ ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීමට කටයුතු කරමින් ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමඟ වඩා විශ්වසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාව සන්නාමගත කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇත.

මේ සඳහා පටු දේශපාලන අරමුණු පසෙකලා සමස්ත ජාතියේ උන්නතිය වෙනුවෙන් අපි සියලුදෙනාම අත්වැල් බැඳගත යුතු යුගය ඇරඹී තිබේ.

ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 78 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේ දී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.

ජනපති අනුරගේ නිදහස් දින පණිවිඩය.!

ජනපති අනුරගේ නිදහස් දින පණිවිඩය.!

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය.

ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට අපි සමත් වීමු.

අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යාමට සැලැස්වීම අපගේ ඊළඟ ප්‍රධාන අරමුණ වේ. එය සිදු නොකර, අලුතින් ගොඩනැඟෙන සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ රිද්මය සාක්ෂාත් කිරීමට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

මෑතකාලයේ සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දීමට අපට සිදු විය. එම ව්‍යසනයේ අත්දැකීම වේදනාකාරී වුවද, ගෙවුණු වසර එකහමාරක කෙටි කාලය තුළ අප ගොඩනඟා ගත් ස්ථාවර පදනම් මත, සියලු පාර්ශ්වයන්ගේ සහායද සහිතව, යළි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තුළ අපි සාර්ථකව ඉදිරියට පියමං කරමින් සිටිමු.

නිදහස ලබා ගෙවුණු කාලය තුළ, නිවැරදි දිශානතියක් කරා අප රට යොමු කිරීමටත්, ජාතික වශයෙන් ළඟා කර ගත යුතු ඉලක්ක ළඟා කර ගැනීමටත්, එකමුතුව ජීවත් වීමටත් ලැබූ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථා බොහෝවිට මඟ හැරී ඇත.

එහෙත්, මෙවර එම වරද නැවත සිදු නොකර, අප රට පැවතියාටත් වඩා දියුණු, ශක්තිමත් සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ තිර අදිටනින් යුතුව අපි වෙහෙසෙමු. එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ අපගේ අභිමානවත් සංස්කෘතිය, පෞරාණික ඉතිහාසය සහ අගනා උරුමයන් ආරක්ෂා කර ගනිමින්, ඒ මත සවිමත් ලෙස දෙපා තබාගෙන බවද මෙහි ලා සිහිපත් කරමි.

විසිවන සියවස තුළ උපන්, එහෙත්, බොඳව ගිය අභිමානවත් රටක් පිළිබඳ වූ සිහිනය, විසිඑක්වන සියවස තුළ සැබෑ කරමින්, රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු, ඉසුරුමත් සහ යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟා, අප ප්‍රාර්ථනා කරන නව යුගය නියත වශයෙන්ම නිර්මාණය කළ හැකි බවට මා සතුව ඇත්තේ අචල විශ්වාසයකි. එහිදී මෙරට සියලු පුරවැසියන්ගේ ශක්තිය, ඔවුන්ගේ සාමුහිකත්වය සහ නොසැලෙන ගුණය කෙරෙහි අපි දැඩිව විශ්වාස තබා ඇත්තෙමු.

ගෙවුණු සියවසේ මඟහැරුණු ජයග්‍රහණ මෙරටට අත්කර දෙමින්, සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම සඳහා එකමුතුව, තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු’යි සියලු පුරවැසියන්ට යළි ආරාධනා කරමින්, නිදහසේ සැබෑ අරමුණු කරා අප රැගෙන යාමට දිරි වඩන, අර්ථවත් ජාතික නිදහස් දිනයකට සුබපැතුම් එක් කරමි.

සිරිලිය සවිය දූෂිත ගනුදෙනු මොනවාද.? කිහිපයක් හෙළිවෙයි.!

සිරිලිය සවිය දූෂිත ගනුදෙනු මොනවාද.? කිහිපයක් හෙළිවෙයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සභාපති ධුරය දැරූ “සිරිලිය සවිය” සංවිධානයේ සිදුව ඇතැයි කියන දූෂිත ගනුදෙනු වලට අදාළව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විමර්ශනය සිදු කරයි.

පසුගිය 2015 වසරේ සිට මෙම විමර්ශනය ක්‍රියාත්මක වුවද පසුගිය කාලයේ එහි ලිපිගොනු විවිධ ස්ථානවල සිරවී තිබුණේය. කෙසේ වෙතත් යළිත් මෙම විමර්ශන ආරම්භ කර ඇත.

එම විමර්ශනයේදී අවධානයට ලක්ව ඇති ප්‍රධාන ගනුදෙනු කිහිපයක් පහතින් දැක්වෙයි.

*රාජ්‍ය ආයතන විසින් “සිරිලිය සවිය” සංවිධානයට මුදල් බැර කිරීම.

*බදු මුදල් නිදහස්ව “සිරිලිය සවිය” සංවිධානයට වාහන ආනයනය කිරීම.

*”සිරිලිය සවිය” වාහන සී.එස්.එන් (CSN) ආයතනය භාවිත කිරීම.

*රිජ්වේ ආර්යා ළමා රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා ආධාර ලබාගැනිම සහ එම මුදල් වැය කිරීම.

*මෙම සීටී ස්කෑන් යන්ත්‍රය පරිත්‍යාගයක් ලෙස විදේශ රටකින් මෙරටට ලැබී ඇති බව පසුගිය කාලසීමාවේදී සිදුකළ විමර්ශන හෙළිවී ඇත.

*ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහා ආධාර ලබාගැනිම සහ එම මුදල් වැය කිරීම.

*”සිරිලිය සවිය” සංවිධානයේ භාණ්ඩාගාරිකගේ ලිපිනය ලෙස ශිරන්ති රාජපක්ෂට අයත් බව කියන කොළඹ නිවසක් සම්බන්ධයෙන් පසුගිය විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේ අතර ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැදුනුම්පත් අංකය ලෙස 222222222V යනුවෙන් අංකයක් සඳහන් කරමින් ආරම්භ කළ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් විමර්ශන වලදී අවධානය යොමුවී ඇත.

මේ අතර රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් ඝාතන විමර්ශනයට අදාළවත් “සිරිලිය සවියට” බරපතල චෝදනාවක් එල්ල වී ඇත.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන විමර්ශනයේදී “සිරිලිය සවිය” සංවිධානයේ තිබු ජීප් රථයක් සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් පසුගිය කාලයේ කරුණු අනාවරණය කර තිබුණේය.

ඒ අනුව “සිරිලිය සවිය” නමින් පවත්වාගෙන ගිය ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව කෙරෙන විමර්ශනයට අනුව ශිරන්ති රාජපක්ෂ ඊයේ (03) දින මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවට කැඳවා තිබුණේය.

අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවට පැමිණි ශිරන්ති රාජපක්ෂ පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව පිටව ගියේය.

78 වන අභිමානවත් නිදහස් දිනය අදයි.!

78 වන අභිමානවත් නිදහස් දිනය අදයි.!

78 වන අභිමානවත් නිදහස් දිනය අද (04) දිනට යෙදී ඇත.

“ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වෙන 78 වන නිදහස් දින සැමරුම අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රදානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර දේශපාලන නියෝජිතයින්, ආරාධිතයන්, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට එක්වීමට නියමිතය.

සංහිදියාව, සංස්කෘතිය, ආගමික හා ජාතික වශයෙන් වැදගත්කම පිළිඹිබු වන අයුරින් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

78 වන ජාතික දින සැමරුම් උළෙලේ ආචාර වෙඩිමුර උත්තමාචාරය අද (04) පෙරවරු 11.30ට ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිතය.

අපේ අත්වල ලේ නෑ.. පවුම් 90 මාලේ දාන් ඉන්න බල්ලාත් ගෙනත් දෙන්නම්.!

අපේ අත්වල ලේ නෑ.. පවුම් 90 මාලේ දාන් ඉන්න බල්ලාත් ගෙනත් දෙන්නම්.!

මේවට ගෙනල්ලා බය කරලා අපේ කටවල් වහන්න බැරි බවත් ඒ හින්දා අපි කට වහගෙන ඉන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අපේ අත්වල ලේ නැති බවත් අපි වැරදි කරලා නැති බවත් අපි අදටත් මේ රටේ අධිකරණ පද්ධතිය විශ්වාස කරන බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි ආණ්ඩුවට කියන්නේ, ඔබේ නොහැකියාව වහගන්න අපිව මේවට ගෙනැල්ලා වැඩක් වෙන්නේ නෑ. අපි එනවා. එන්න කියන ඕනෑම වෙලාවක මම, අම්මා, තාත්තා අර පවුම් 90 මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම්.

හැබැයි, ඔබ ජනතාවට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න. මේවට ගෙනල්ලා බය කරලා නම් අපේ කටවල් වහන්න බෑ. ඒ හින්දා පාරට ඇදලා දාපු දේශපාලනයේ අපි කටවහගෙන නම් ඉන්නේ නෑ.

ආණ්ඩුව හිතනවා නම් මේවට ගෙනල්ලා ආණ්ඩුව රටේ ප්‍රසිද්ධ වෙයි කියලා, මම නෙමෙයි අපෙ අම්මා නෙමෙයි කවුරු ගෙන්නුවත් ආණ්ඩුවට දෙන්න තියෙන මේක තමයි උත්තරේ.”

“අදත් මම කියනවා, හෙටත් මම කියනවා අපේ අත්වල ලේ නෑ. අපි වැරදි කරලා නෑ. අපි අදටත් මේ රටේ අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා. ආණ්ඩුව උපරිම උත්සාහ කරනවා අධිකරණ පද්ධතිය තමන්ගේ දේශපාලන ග්‍රහනයට ලක් කරගන්න.”

දස මහ යෝධයෝ ටික ඇවිල්ලා ඉන්නේ.. මම ගෝඨයිම්බර.!

දස මහ යෝධයෝ ටික ඇවිල්ලා ඉන්නේ.. මම ගෝඨයිම්බර.!

විහාර මහා දේවියව සිරගත කරන්න හදනකොට දස මහ යෝධයෝ ටික වටේට කොහොමත් ඇවිල්ලා ඉන්න බව රංගන ශිල්පී රජිත හිරාන් සඳහන් කරයි.

රජය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් වත්මන් රජයේ පාලන අපොහොසත්කම් වසා ගැනීමට දේශපාලන සංදර්ශන පවත්වන බවද රජිත හිරාන් සඳහන් කරයි.

ආර්ථික ප්‍රශ්න හමුවේ ජනතාව නැගී සිටින විට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට මෙවැනි විමර්ශන මාතෘකා ලෙස ජනතාවට ලබාදෙන බවද රජිත හිරාන් සඳහන් කරයි.

රටේ මහජන විරෝධය මැඩපැවැත්වීමටත් රාජපක්ෂවරුන් ඉලක්ක කරගනිමින් දේශපාලන සංදර්ශන පවත්වන බවද රංගන ශිල්පී රජිත හිරාන් සඳහන් කරයි.

තමන් වැරැද්දක් කර ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙසත් පිං පොං යන නාමයට මුවා නොවී සෘජුව තම නම කියා චෝදනා කරන තෙක් තමන් බලා සිටින බවද රජිත හිරාන් සඳහන් කරයි.

රජිත හිරාන් සඳහන් කළේ,

“දුටුගැමුණු කුමාරයා සංග්‍රාම භූමියට බැහැලා ඉන්න වෙලාවේ, විහාර මහා දේවියව සිරගත කරන්න හදනකොට දස මහ යෝධයෝ ටික වටේට කොහොමත් ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ සයිස් එකෙන් නම් මම ගෝඨයිම්බර වෙන්න ඇති.”

නාමල් රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජිත හිරාන් මේ බව සඳහන් කරයි.

සංවර්ධන නිලධාරීන්ගේ ගැටළුවට ජනපතිගෙන් විසඳුම්.!

සංවර්ධන නිලධාරීන්ගේ ගැටළුවට ජනපතිගෙන් විසඳුම්.!

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි.

එහිදී 16,000ක් පමණ වන පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙසට ජනපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී  දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවද සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පවසා සිටියේ, පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බවය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය.. මෛත්‍රීගේ පෙත්සමට දුන් තීන්දුව.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය.. මෛත්‍රීගේ පෙත්සමට දුන් තීන්දුව.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම යන චෝදනා යටතේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ කළ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (03) රිට් ආඥාවක් නිකුත් කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

ධම්මික ගනේපොල, මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එහෙත් නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අදාළ පුද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ ජේසුරාජ් ගනේෂන් යන අය මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත. 

පාර්ලිමේන්තුවේ පොදු කුණුහරප බලකාය “PKB”

පාර්ලිමේන්තුවේ පොදු කුණුහරප බලකාය “PKB”

විපක්ෂයේ කණ්ඩායම් එකතු වී කුණුහරප බලකායක් ගොඩනගාගෙන තියෙන බවත් එම පොදු කුණුහරප බලකාය “PKB” බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.

මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර අද (03) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“අද දවසේ විශේෂ සාකච්ජාවක් දීලා තියෙනවා, ගුරු සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කාරණයට. ඒ තැන දක්වා උත්සාහ කරමින් ඉන්නවා, විශේෂයෙන් විපක්ෂය කණ්ඩායම් අනීතික ක්‍රියාවලියකට ආණ්ඩුව ගැට ගහන්න.

අපි නීත්‍යානුකූලව, නීතිගරුක ලෙස කටයුතු කරමු. මොකක්ද තියෙන ප්‍රශ්නය නීතිගරුක ලෙස කටයුතු කරන්න. ඇයි එහෙම කටයුතු කරන්න බැරි. අපි සූදානම් විනයක් ඇතිව, නීතියකට යටත්ව වැඩ කරන්න.

මේ AKD කියන බ්‍රෑන්ඩ් එකට, ආණ්ඩුවක් විදිහට අපි උපයාගෙන තියෙන AKD බ්‍රෑන්ඩ් එකට ප්‍රතිවිරුද්ධ ලෙස ගුණාත්මක බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කර ගන්න විපක්ෂයේ කාටවත් බෑ.

එක නමකටවත් එහෙම දෙයක් කරන්න බෑ. මෙතුමන්ලාට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, පොදු කුණුහරප බලකායක් වගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න විතරයි. වෙන කිසිම බ්‍රෑන්ඩ් එකක් නෑ.

මේ සියලු කණ්ඩායම් එකතු වෙලා පොදු කුණුහරප බලකායක් ගොඩනගාගෙන තියෙනවා. ඒක තමයි රටේ මාක් එක. ඒ ජාතියේ දෙයක් කීවොත් ඕනෑම පොඩි එකෙක් දන්නවා කියන්නේ විපක්ෂයෙන් කියලා.

අපි කෙටියෙන් කියමු, පොදු කුණුහරප බලකාය, “PKB” එහෙම තමයි තියෙන්නේ දැන්. ඒ වගේ බලකායක් මේක. මේ පාර්ලිමේන්තුව ඇතුලේ, අද දවස ගත්තත් මුළු දවසෙම කිසිම ආකාරයක ගුණාත්මක සාකච්ජාවක් මේ පාර්ලිමේන්තුව දිහා බලලා කිසිවෙකුට ඉගෙන ගන්න පුළුවන් සාකච්ජාවක් කරේ නෑ.

තමන්ගේ හිතේ තියෙන සියලුම බොරු ප්‍රකාශයට පත් කරන, තමන්ගේ හිතේ තියෙන අසහනයන් ප්‍රකාශයට පත් කරන ඒ ජාතියේ ආයතනයක් කියලා මේක. එහෙම ආයතනයක් බවට පත් වෙන්න ඕන නෑ.”

✕
⌃ News
📰 Free News Subscription?