Local news

අද දිස්ත්‍රික්ක රැසකට තද වැසි

අද දිස්ත්‍රික්ක රැසකට තද වැසි

දිස්ත්‍රික්ක රැසකට අද (11) දින පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

රියාද් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර.. හදිසි තත්ත්වයක්

රියාද් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර.. හදිසි තත්ත්වයක්

සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සිද්ධියෙන් පසු ගුවන්තොටුපොළේ ඇතැම් කොටස්වල සිටි මගීන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර ගිලන් රථ රැසක් ගුවන්තොටුපොළ වෙත කැඳවා ඇත.

එම ප්‍රහාරයෙන් සිදුව ඇති හානි සහ තුවාලකරුවන් පිළිබඳ නිල තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාර දෙකකින් ගුවන් නියමුවෙකු ඇතුළු සෞදි ජාතිකයින් තිදෙනෙකු මියගිය බවට වාර්තා වී දින දෙකකට පසුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

සෞදි අරාබියේ පිහිටි බටහිර තානාපති කාර්යාල ඔවුන්ගේ පුරවැසියන්ට ගුවන් තොටුපළින් ඉවත්ව සිටින ලෙසට අනතුරු අඟවා ඇති අතර ගුවන් සමාගම් කිහිපයක් ගුවන් තොටුපළට සහ ඉන් පිටතට ගුවන් ගමන් අවලංගු කර ඇත.

මහ පාරේ පරණ සෙල්ලම් ආයෙත් බෑ.. ක්ෂණිකව නීතිය.. රහසිගතව අරඹයි

මහ පාරේ පරණ සෙල්ලම් ආයෙත් බෑ.. ක්ෂණිකව නීතිය.. රහසිගතව අරඹයි

මාර්ග වල අධික ලෙස දුම් පිටකරමින් ධාවනය වන වාහන හඳුනා ගැනීම සඳහා විශේෂ ඡායාරූප ඒකකයක් ස්ථාපිත කිරීමට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන පියවර ගෙන ඇත.

එම නව ඒකකය මගින් මාර්ගයේ ධාවනය වන වාහන රහසිගතව නිරීක්ෂණය කර, ඒවායේ දුමාරය පදනම් කර ගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි නිලධාරීන්, මාර්ගයේ උපායශීලී ස්ථානවල රැඳී සිට අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කරයි.

එම ඡායාරූප සාක්ෂි පදනම් කරගනිමින් අදාළ වාහන හිමියන් වෙත එදිනම නඩත්තු නියෝග නිකුත් කිරීමට නියමිත අතර එම නියෝග ලබන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර, නියමිත දිනට වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කළ යුතුයි.

යම් හෙයකින් එම නියෝගයට ප්‍රතිචාර නොදක්වන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ අසාධු ලේඛනගත කිරීමට කටයුතු කරන අතර එවැනි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී හෝ වාහන පැවරුම් කිරීමේදී දැඩි බාධා එල්ල වනු ඇත.

සජිත් ප්‍රමුඛ විපක්ෂ⁣ය ගෙන එන විශ්වාසභංග විවාදයට දින දෙකක්.?

සජිත් ප්‍රමුඛ විපක්ෂ⁣ය ගෙන එන විශ්වාසභංග විවාදයට දින දෙකක්.?

වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය (08) වනදා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කළේය.

අනතුරුව (09) දින විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත බාර දුන්නේය.

කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති අතර එයට මන්ත්‍රීවරු 44 දෙනෙකු අත්සන් තබා ඇත.

ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට දින දෙකක් වෙන් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමක් කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

කථානායකවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇත.

ඥනසාර හිමිට සමාව.. පහත් විදියට බැනලයි සපත්තුවෙන් ගැහුවේ.. රනිල්ගෙන් ප්‍රකාශයක්

ඥනසාර හිමිට සමාව.. පහත් විදියට බැනලයි සපත්තුවෙන් ගැහුවේ.. රනිල්ගෙන් ප්‍රකාශයක්

කොළඹ – මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති එක්සත් ජාතික පක්ෂ නීතීඥ හමුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළ කළ අදහස්, සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුණේය.

“ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණ බාධා කරනු ලැබුවා. එවිට එතැන හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන ක්‍රියා කරන්න දැනුම් දීම කළා. අභියාචනාධිකරණය හාමුදුරුවන්ට සිරදඬුවම දුන්නා.

එදා හාමුදුරුවන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැහැ. මේ ගැන තලතා අතුකෝරළ එවකට අධිකරණ ඇමතිනිය කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යැව්ව ලිපිය මා ළඟ තිබෙනවා. ලිපියේ සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තිබුණි.

අවුරුද්දක් ගියාට පසු ඇතැම් සංඝයා වහන්සේලා මාව හම්බවෙලා කිව්වා ‘දැන් ඉතින් කොහොමත් ඥාණසාර හාමුදුරුවන්ට අපේ ආශ්‍රයේ වැඩකටයුතු කරන්න සිදුවෙනවා. අනෙක සිවුර අරින එක බලන්නේ අපරාධ නඩුවලදී පමණයි. පාරාජිකා තත්ත්වයට පත්වුණාම සිවුර අයින් කරන්න පුළුවනි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඒත් උසාවියට බාධා කිරීම, අවනම්බු කිරීම ඇත්ත වශයෙන්ම පාරාජිකා ක්‍රියාවක් නොවෙයි කියාත් ස්වාමීන් වහන්සේලා මා සමග පැවසුවා.

සංඝයා වහන්සේලා මෙසේත් කියා සිටියා,

සාමාන්‍යයෙන් එහෙම එකක් සිදුවුණා නම් ඒ සංඝයා වහන්සේ කැඳවා, අවවාද කර අදාළ නිකාය නැතිනම් පාර්ශවයේ කාරක සභා වලින් පසු භාවනා කරන්න හරි අප කල් දෙනවා. මේ අනුව තමයි කරන්නේ. පාරාජිකා නොවන කාරණයකට සිවුර ඉවත් කළොත් එය විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා 9 වැනි වගන්තියට පටහැනියි බුද්ධාගම ආරක්ෂා කිරීම ලෙස තිබු එක 1972 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බුද්ධ ශාසනය ලෙස කපා සංශෝධනය කළා යයිද සංඝරත්නය වැඩිදුරටත් මට සිහිපත් කර සිටියා.

මා කිව්වේ මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා බුද්ධාගම, බුද්ධ ශාසනය ආදී ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කතා කරන්න. එතුමාට තමයි ජනාධිපති ලෙස මේ වගකීම තිබෙන්නේ. ඒ අය ගිහින් එතුමා එක්ක කතා කළා.

අප අතරත් සාකච්ඡා වුණා, අපත් එතුමාත් එක්ක කතා කළා. අවුරුද්දක් ගියාට පසු හාමුදුරුවන්ගේ සිවුර ගලවා බන්ධනාගාරයට යවනවාද, නැතිනම් අවුරුද්ද ගිය දඬුවමක් දුන්න නිසා සමාව දී පිට කරනවාද? හැමදාම හාමුදුරුවන් මේ තත්ත්වයේ තියාගන්න බැහැනේ. කවුරු හරි මේක ප්‍රශ්න කරයි.

එතුමාගේ තීරණය වුණේ දැන් අවුරුද්දක් ගත කළා, සමාව දී පිට කරමු කියලායි. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒ ගැන ඉස්සෙල්ලා අප අතර කතා කළා මේකයි හොඳම එක කියා කැබිනට් එකේදීත් කතා කළා.

අගමැති ලෙස අනෙක් ඇමතිවරුන් ගණනාවක් එක්ක කතා කර මෙහෙමයි මේක කරන්න ඕනෑ කියා මා ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ සිටියද සිවුර අයින් කළොත් ඔක්කොම අපේ ඇඟ උඩට දමයි. ඒ නිසා සමාව දෙන්න තීරණයා කළා. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒක දුන්නේ නව වැනි වගන්තිය යටතේයි.

මා කාටවත් සමාව දුන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් නිදහස් දිනයේ, වෙසක් දිනයේ එහෙම සිරකරුවන්ගේ කාලසීමාව අඩු කර නිදහස් කරනවා. ඒවාට හේතු දුන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා වුණේ ලේකම්තුමා ඇවිල්ලා මොකක්ද කරන්නේ වෙසක් එකට කියා අහනවා.

විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ’ පුළුවන් තරම් පිට කරන්න, මේක පිරිලා තිබෙන්නේ, තව ගන්න බැහැ කියලයි. මා කිව්වේ විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට කතා කර පුළුවන් හැම කෙනාටම සමාව දෙන්න කියලයි. මා වාචිකව කිව්වා මිස වෙන මොකුත් ලියන්න ගියේ නැහැ. වෙසක් දිනයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහෙම කළා. මේක විතරක් නොවෙයි, ඇත්ත වශයෙන්ම අනෙක් කරුණුවලදී ද අප හේතු ලියන්නේ නැහැ.

එංගලන්තයේ එක එක හේතු ලියනවා. හුඟක් රටවල්වල එහෙම නැහැ. අප කතා කරන්නේ ලේකම් සමගයි. දැන් ලේකම්ට හැන්ඩ්ෆෝන් එකෙන් කතා කරන්න පුළුවනි. අනෙක් අය ඊමේල් දානවා, මේගොල්ලෝ අද ඔක්කොම ඊමේල් කරනවානේ? එහෙම යනවිට මිනිට් (සටහන්) තියාගන්න එක ප්‍රශ්නයක් වෙනවා. AI ඇහුවාම මොනවා වෙයිද කියා මා දන්නේ නැහැ.

මා දන්නවා අනෙක් රටවල්වලත් සටහන් තියන්නේ නැහැ. මා නම් ඒක කර නැහැ, අගමැති හැටියටවත් සටහන් තබා නැහැ. සාම ගිවිසුමේ මා මිනිට් (සටහන්) තැබුවා කරුණා අප සමග ඉන්නවද?

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරවරයා සම්බන්ධයෙන් මෙතැන ප්‍රශ්නයක් ඇහුවා.

ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරතුමාට ‘දලිත්’ කියා පහත් විදියට බැනලයි සපත්තුවෙන් ගැහුවේ. නිකන් සපත්තුවෙන් ගැහුවේ නැහැ, දලිත් කියා ගැහුවා. ඒ කුලය මතක් කරලයි. ඉන්දියාවේ හුඟක් වෙලාවට අවවාද කරනවා, නැතිනම් මාසයක් විතර තියාගෙන පිට කරනවා.

ප්‍රශ්නය නිසා අනෙක් ආගම්වලට හානියක් වුණේ නැහැ. මේ ප්‍රශ්නය නිසා ඥාණසාර ස්වාමීන් වහන්සේට දඬුවමක් දුන්නා. ඊට පසුව ඇති වු ප්‍රශ්නය වූයේ විනය කඩ කර සිවුර අයින් කරනවාද, විනය ආරක්ෂා කර පිට කරනවාද යන්නයි. මෙය ආගමික ප්‍රශ්නයක් වනවා. මෙතැනදී බෞද්ධ මතය ප්‍රකාශ වුණා. ඒ බහුතරයේ මතයයි. කොහොමද ඒකට විරුද්ධව CPA යන්නේ? මේවට නම් අපට සහයෝගය දෙන්න බැහැ. මේක හරි නැහැ. ඒක වැරදියි. මේක ආගමික ප්‍රශ්නයක් වෙලා.

උන්වහන්සේට දඬුවම් නොකෙරුවා නම් ඒක වෙන එකක් වනවා. නැතිනම් නඩු තීන්දුව දුන්න දවසේම සමාව දුන්නා නම් වෙනත් තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේකෙන් පසුව ආවේ ආගමික සහ විනය පිටකය පිළිබඳ පිළිබඳ ප්‍රශ්නයකැයිද”

පොදු ප්‍රවාහනයට සුබවාදී වෙනසක්

පොදු ප්‍රවාහනයට සුබවාදී වෙනසක්

පසුගිය අප්‍රේල් (21) වැනිදා බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාව සමඟ මාකුඹුර Park & Ride පහසුකම භාවිත කරන වාහන සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.

2026 පළමු හා තෙවන කාර්තු සංසන්දනය කිරීමේදී, පළමු කාර්තුවේ සමස්ත වාහන සංඛ්‍යාව 34,284ක් වූ අතර තෙවන කාර්තුවේදී එය 53,129ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව, කාර්තු දෙක අතර වාහන සංඛ්‍යාවේ 54.97%ක වර්ධනයක් වාර්තා වී ඇති අතර වසරේ මුල් කාර්තුවේ දෛනික සාමාන්‍යය 380ක් වූ අතර තුන්වන කාර්තුව වනවිට එය 590ක් දක්වා ඉහළ ගොස් ඇත.

පෞද්ගලික වාහන භාවිත කරන ජනතාවට තම දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා සුවපහසු, ආරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් තෝරා ගැනීමට අවස්ථාව සැලසී ඇත.

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග – විශේෂ කමිටුව රැස්වෙයි

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග – විශේෂ කමිටුව රැස්වෙයි

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය (08) වැනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා කමිටු සභාපති, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක එක්ව සිටියහ.

එහිදී ඒ සඳහා වන ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබාදීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර විසින් සිදු කරන ලදි.

ඉන්ධන සැපයුම ගැන රජය දැඩි තීරණයක් ගනී

ඉන්ධන සැපයුම ගැන රජය දැඩි තීරණයක් ගනී

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල එම ප්‍රතිශතයෙන්ම ඉහළ නංවා නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමාකර පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කළහොත්, ඊට එරෙහිව නීත්‍යානුකූලව ගත හැකි සියලු පියවර ගන්නා බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“රුපියල් දහයක තෙල් මිල වැඩි වෙනකොට, රුපියල් හැත්තෑවක සහනාධාරයක් රජය හැටියට ලබා දීලා තියෙනවා කියන එක කවුරුත් කතා කරන්නේ නෑ. අනිත් එක තමයි, පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝකයේ මේ වෙනකොට කොච්චර ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ ගියාද කියන එක.

ඒවා කල්පනා කරන්නේ නැතුව තමයි සමහර ප්‍රශ්න සමාජයෙන් අහන්නේ. ඉතින් එහෙම බැලුවහම, අපි ලෝක වෙළඳපොළට සාපේක්ෂව ඒ ප්‍රමාණයටම තෙල් මිල වැඩි කරලා නෑ.

ඒ වගේම තමයි අපි කලින් සැරේ බිලියන පනස් හතක් වෙන් කළා සහනාධාර ලබා දෙන්න. දැන් ඉදිරි මාස තුන සඳහා බිලියන හතළිස් එකක් සහනාධාර සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට, මේ වැඩි වෙච්ච තෙල්වල මිලෙන් කොටසක් අපි රජය හැටියට සහනාධාර ලෙස අවශෝෂණය කර ගන්නවා.

ඒ වගේම, ඉතිරි කොටසෙන් කොටසක් අපි අදාළ සමාගම්වලට කියනවා, අපි මේ ඉන්නේ දුෂ්කර අවස්ථාවක, ඉතා විශාල වශයෙන් තෙල් මිල වැඩි කරන්න පුළුවන් කාලයක් නෙමෙයි, ඒ නිසා ඔවුන් ඒකෙන් කොටසක් දරාගන්න ඕනේ කියලා. ඒකෙන් සුළු කොටසක් තමයි ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්නේ.

මේ දවස්වල සමහර පෞද්ගලික ඉන්ධනහල් සම්බන්ධයෙන් විශාල කතාබහක් තියෙනවා. ඔවුන් තෙල් සැපයුම සීමා කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ, ඒගොල්ලෝ කියන විදිහට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ කියලා.

ඒ නිසා, අදාළ ගිවිසුම්වලට අනුව, තමන්ගේ මිල සූත්‍රයට සහ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. කැමති නම් ඒක භාවිතා කරාට කමක් නැහැ.

මෙහිදී, හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරනවා නම්, නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා.

අවසානයේදී, මේ අය මෙතනට ගේනකොට කිව්වේ, තරගකාරී වෙළඳපොළකින් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා.

නමුත් මේ පෞද්ගලික අංශයේ මැදිහත්වීම දැන් වෙලා තියෙන්නේ, ඒගොල්ලන්ගේ බලපෑම නිසා විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ දමන්න කියන බලපෑමක් කිරීමයි. රජයක් හැටියට අපි කීයටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ආයෝජකයන් අපහසුතාවයට පත් කරන එක නෙමෙයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම, ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන එකත් අපේ කාර්යභාරය නෙමෙයි.“

ශ්‍රී ලංකන් ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

ශ්‍රී ලංකන් ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගුවන් ගමන් රැසක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සෞදි අරාබියේ රියාද් නගරය වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් (18) වන දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.

රියාද් ගුවන් තොටුපළ ආශ්‍රිතව මෑතකදී සිදුවූ ආරක්ෂක තත්ත්වයක් සහ අඛණ්ඩව සිදු කෙරෙන ආරක්ෂක හා මෙහෙයුම් සමාලෝචන සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

එනිසා පවතින තත්ත්වය වාණිජ ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු මට්ටමක පවතින බවට තහවුරු වූ පසු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්‍රමුඛතාව බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

අවසන් මොහොතේ කබ්රාල් ඉල්ලා අස්කර ගනී

අවසන් මොහොතේ කබ්රාල් ඉල්ලා අස්කර ගනී

රුපියල් බිලියන 1.8 මුදලක් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ අභියාචන පෙත්සම කබ්රාල් විසින්ම ඉල්ලා අස්කර ගෙන ඇත.

අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවයි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, අපරාධ විධාන සංග්‍රහයේ 201(1) යටතේ මේ සම්බන්ධයෙන් නඩුව පවතින ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අයදුම් පතක් ගොනුකොට ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති මෙම අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණයෙන් ඊට අවසර ලැබුණ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක සඳහන් කරයි.

Follow WhatsApp Channel