Top Story

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඒ අවස්තාවේදීම විනාශ කරන්න නව නීති.!

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඒ අවස්තාවේදීම විනාශ කරන්න නව නීති.!

විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) දින කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවද, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බවද, ඒ සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් කාටත් පිළිගත හැකි පරිදි සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසුවේය.

එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පුනරුත්ථාපන කටයුතු සඳහා පුහුණු මානව සම්පතක් ගොඩනැඟීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

මීට ප්‍රථම ලබාදුන් උපදෙස් අනුව මේ වන විටත් එම කටයුතු ආරම්භ කර ඇති අතර, අද දිනයේ සාකච්ඡා කළ කරුණුද සැලකිල්ලට ගනිමින් කඩිනම්ව එම කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසද ජනාධිපතිවරයා සඳහන් කරයි.

දැනට සැලසුම් කර ඇති පරිදි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින රස පරීක්ෂක තනතුරු ස්ථිර සහ තාවකාලික පදනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකිමේ ‘ඉවත් වෙනු- රටම එකට’ වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් 06, 07 දෙදින තුළ සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරිමටද සැලසුම් කර ඇත.

සියලුම රාජ්‍ය ආයතන විෂ මත්ද්‍රව්‍යවලින් තොර බවට සහතිකයක් දීමට අදාළ පාලනය සමත් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මාස 10ට ලංකාවේ ඉහළම අපනයන ආදායම වාර්තා කරයි.!

මාස 10ට ලංකාවේ ඉහළම අපනයන ආදායම වාර්තා කරයි.!

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මාස 10ක කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0%ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තු ගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14,433.82කි.

මෙම ආදායම පසුගිය 2024 වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්වන අතර මුල් මාස 10 තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බවද අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සඳහන් කළේ,

“මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනවාරි, ඔක්තෝබර් කාලය තුළ වාර්තා වූ ඉහළම අපනයන අගයයි. ප්‍රධාන බටහිර වෙළෙඳපොළවල් අඛණ්ඩව යථාතත්ත්වයට පත්වීම සහ දේශීය කර්මාන්ත විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර නිෂ්පාදන ධාරිතාවය මෙම වර්ධනයට දායක වී ඇත.

අපගේ අපනයනකරුවන්ගේ ශක්තිමත්බව සහ කැපී පෙනෙන ක්‍රියාකාරිත්වය පිළිබඳව මම ප්‍රශංසා කරමි. විශේෂයෙන්, මෙම කාලය තුළ වාර්ෂික අපනයන ඉලක්කය වන අමෙරිකානු ඩොලර් බිලියන 18න් 80%ක් දැනටමත් සාක්ෂාත් කර ගෙන ඇත.

2025 ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා අංශයන්හි මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,474.38ක් විය. එය 2025 සැප්තැම්බර් හා සසඳන විට මාසිකව 2.2%ක වැඩිවීමක් පිළිබිඹු කරයි.

ඔක්තෝබර් මාසයේ කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත් බව, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරගකාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගවල අඛණ්ඩ ඵලදායීතාවය අවධාරණය කරයි.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍රධාන ශක්තියක් වී ඇත. 2025 ඔක්තෝබර් මාසයේදී සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 316.14 කි. වසරේ මුල් මාස දහය තුළ සේවා අපනයන ආදායමේ වර්ධනය 4.01% කි.

එය අමෙරිකානු ඩොලර් මිලියන 3,060.21 ක් වේ. මෙම ප්‍රවණතාවය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම සහ එය ජාතික අපනයන ආදායම සඳහා ඉවහල් වන ආකාරය පිළිබිඹු කරයි.”