Advertisements
Advertisements

කොළඹ කොටුව ලස්සන කරන්න සියල්ල සූදානම්

LIVE

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan ඇතුළු නියෝජිත කණ්ඩායමත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (24) පැවැත්විණි.

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේදී මතුවූ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙනුත්, කෘෂි ව්‍යාපාර, වරාය සහ සැපයුම් සේවා මෙන්ම බලශක්ති යන ක්ෂේත්‍රයන්හි අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටත් අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවද ලෝක බැංකු නියෝජිතයෝ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

එමෙන්ම, කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ස්වභාවික සෞන්දර්ය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, උතුරු නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙනුත් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී Stephan Massing, ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments
Most Voted
Newest Oldest