විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් නව වැඩපිළිවෙළක්

ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ලබන නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා දෙමින්, ඔවුන්ගේ දෙවන වෘත්තීය දිවිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ සාකච්ජාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශ්‍රාම යාමෙන් අනතුරුව මුහුණ දෙන වෘත්තීය සහ මූල්‍යමය අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ට ස්ථාවර ආදායමක් සහිත රැකියා අවස්ථා සඳහා යොමු වීමට අවශ්‍ය පිළිගත් වෘත්තීය පුහුණුව ලබාදීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන්ම තාක්ෂණික නොවන අංශවල සේවය කළ සාමාජිකයන්ට ද පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පද්ධතිය යටතේ 4 වන මට්ටමේ සුදුසුකම මගින් සාමාන්‍ය පෙළ මට්ටමේ අධ්‍යාපනික හා වෘත්තීය පිළිගැනීමක් ලබා ගැනීමට හැකි වන බැවින්, විධිමත් පුහුණුව සහ සහතික කරණය තුළින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳ පොළට පිවිසීමට අවස්ථාව සැලසීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ඒ අනුව, දැනට ත්‍රිවිධ හමුදාවන් තුල ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් රණවිරු සම්පත් කේන්ද්‍රයේ පවතින පාඨමාලා සමඟ ඒකාබද්ධ කරමින්, නවීන වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව වැඩි දියුණු කිරීමේ යෝජනා ද ඉදිරිපත් විය.

මෙම වැඩපිළිවෙළ යටතේ ජාත්‍යන්තර සහ සමුද්‍රීය ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින්, විද්‍යුත් වාහන (EV) තාක්ෂණය ආශ්‍රිත මෝටර් රථ කාර්මික ශිල්පය, හෝටල් කළමනාකරණය, පේස්ට්‍රි හා බේකරි නිෂ්පාදනය, රූපලාවණ්‍ය ශිල්පය, පෙරපාසල් ගුරු පුහුණුව, මෙකට්‍රොනික්ස්, ඉලෙක්ට්‍රොනික්ස්, රොබෝ තාක්ෂණය, සාත්තු සේවා, ගිනි නිවීම සහ කෘෂිකර්මාන්තය ඇතුළු අනාගත රැකියා වෙළෙඳ පොළට ගැළපෙන ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීම පිළිබඳව අවධානය යොමු විය.

එසේම, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සිය සේවා කාලය තුළ ලබාගත් ප්‍රායෝගික දැනුම සහ පළපුරුද්ද ඇගයීමට ලක්කරමින්, ඒ සඳහා NVQ හෝ ඩිප්ලෝමා මට්ටමේ සහතික පත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම මෙන්ම පෞද්ගලික ආරක්ෂක සේවා ක්ෂේත්‍රයේ නිරත වන විශ්‍රාමික සාමාජිකයන්ගේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම පිළිබඳව ද, මෙහිදී සාකච්ඡා කෙරිණි.

විශ්‍රාම යාමට ආසන්න ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) දිස්ත්‍රික් මධ්‍යස්ථාන ජාලය උපයෝගී කරගනිමින් පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේ ක්‍රම වේදයක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.

ඒ තුළින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ අභිමානය සහ වෘත්තීය ගෞරවය ආරක්ෂා වන පරිදි ඔවුන්ගේ දෙවන වෘත්තීය දිවිය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel