මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් අරන්.. ඩිලන්ත ජාවාරමක.?

LIVE

ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සකස් කර අඩු මිලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බව කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී, අදාළ පුද්ගලයින් මුලින්ම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.

ව්‍යාජ ඔප්පු සකස් කරමින් කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් එම විමර්ශන අතරතුර අදාළ පුද්ගලයින් විදෙස්ගත වුවහොත් පරීක්ෂණ කටයුතු වලට බාධා ඇතිවිය හැකි බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදෙස් ගමන් තහනම ඉල්ලා ඇත.

එම ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන පුද්ගලයින්ට විදෙස් ගමන් තහනම් කරන්නැයි ඉල්ලා සිටියේය.

කොළඹ 07, බාන්ස් පෙදෙසේ අංක 18 දරන පර්චස් 43ක විශාලත්වයෙන් යුතු, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩම රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට අලෙවි කළ බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පන්නිපිටියේ පදිංචි ආරියපාල දිසානායක නමැති පුද්ගලයක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී, රුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් එම ඉඩම ව්‍යාජ ඔප්පු මගින් රුපියල් බිලියනයකට අලෙවි කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

බන්ධනාගාරගත කර සිටින ආරියපාල දිසානායක මේ වනවිට රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඉඩම අලෙවි කිරීමෙන් ලැබුණු මුදල් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු අතර බෙදී ගොස් ඇති බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව නමැත්තා මුදල් වෙනුවට සුඛෝපභෝගී මෝටර් රථ 14ක් ලබාගෙන ඇති බවටද මූලික විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇතැයි රහස් පොලිස් නිලධාරීන් පවසා ඇති අතර මුදල් බෙදාගත් බව කියන පුද්ගලයින් මෙන්ම මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන ලබාගත් බව කියන පුද්ගලයා සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආරියපාල දිසානායකගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ අතර විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා ඇති පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
📰 Free News Subscription?