මැතිවරණ නීති සංශෝධනය – කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනයට අදාළ මහජන අදහස් හා යෝජනා පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.

මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා සමාලෝචනය කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුව විසින් මෙම වාර්තාව කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න වෙත භාර දෙන ලදී.

ඒ, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම සහ ඊට අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 31ක් මෙන්ම මින් පෙර මැතිවරණ සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි වාර්තාවන් ද ඇතුළත්ව ඒවා සම්බන්ධයෙන් ගැඹුරින් සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා උක්ත විද්වත් කමිටුව පත් කෙරිණි.

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස්, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ, සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය කේ. තවලිංගම් සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් එම කමිටුවේ සාමාජිකයන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න, යෝජනා ඉදිරිපත් කළ ආයතන හා සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු සහ තේමා සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා සකස් කර කාරක සභාව වෙත භාරදී ඇති බව පැවසුවේය.

මේ වනවිට ලියාපදිංචි දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, මහජනතාව, විවිධ ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති සියලු අදහස් හා යෝජනා සමාලෝචනය කර මාස දෙකක් ඇතුළත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.

අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවද, රටේ පුරවැසියන්ට සහ මහජනතාවට සිය සංශෝධන හා නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මේ අතර, මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීම් සම්බන්ධ නීති හැර) සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ වෙත ලබාදී තිබූ කාලසීමාව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමටද කාරක සභාව තීරණය කර තිබේ.

එමෙන්ම, මහජන අදහස් සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ට අවශ්‍ය නම් සිය පෞද්ගලික යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

මෙම රැස්වීමෙන් අනතුරුව, කාරක සභාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා සභාපතිවරයාගේ සහ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වන ලදී.

0 Comments
Most Voted
Newest Oldest