නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන (28) වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කෙළේය.
මෙම නඩුකරය අද (13) කොළඹ මහාධිකරණය විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තමන් විසින් ඉල්ලා සිටි ලේඛන වලින් කොටසක් පමණක් ලැබී තිබෙන බවත් ඉතිරි ලේඛන පැමිණිල්ල විසින් ලබාදී නොමැති බව සඳහන් කළේය.
ඒ අනුව, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන තිබේ නම් ඒවා ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් විනිසුරුවරයා, මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළිත් මේ මස (28) වනදා කැඳවන ලෙස නියම කළේය.

