බාලවයස්කාර දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිට එරෙහි නඩුව (21) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවයි.
එහිදී පල්ලේගම හේමරතන හිමි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණ ආරක්ෂාව භාරව සිටින ස්ථානාධිපතිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල්වීමට ඇති දොරටුවෙන් හේමරතන හිමි ඇතුල් වූ බවට ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ල ඉදිරිපත් කළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.
මහේස්ත්‍රාත්වරයාට අධිකරණ භූමියට ඇතුල් වීම සඳහා ඇති දොරටුවෙන් හේමරතන හිමි සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාගේ වාහනයෙන් අධිකරණයට පැමිණ ඇති බව එම නීතිඥවරයා දැනුම් දී ඇත.
සැකකාර හිමිනම කිසිදු සෝදිසි කිරීමකින් තොරව විශේෂ දොරටුවකින් අධිකරණ භූමියට ඇතුළු කිරීම පිළිබදව වගකීම පොලිසිය භාර ගත යුතු බවද අවධාරණය කළ නීතීඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිය ඉදිරියේ සැවොම සමාන බව පෙන්වා දුන් නීතිඥවරයාගේ ඉල්ලීම මත, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් අධිකරණ ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.
දෙවන සැකකාරිය වන දැරියගේ මව අත්අඩංගුවට පත්වීමට පෙර භාවිත කළ බව කියන, මෙතෙක් විමර්ශනය නොවූ තවත් දුරකථන අංක 3ක් දැරියගේ මිත්තණිය සහ මාමා විසින් නීතිඥවරයා වෙත ලබාදී ඇති අතර ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව 2027 ජනවාරි මස (08) වැනි දින දක්වා කල් තැබු මහේස්ත්‍රාත්වරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පළමු සැකකරු වන පල්ලේගම හිමියන්ට සහ දෙවන සැකකාරිය වන වින්දිත දැරියගේ මවට නියෝග කළේය.
එසේම වින්දිත දැරිය සම්බන්ධයෙන් පවත්වා ඇති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට මෙහිදී සිතාසි නිකුත් කෙරිණ.
මේ අතර පල්ලේගම හේමරතන හිමිගේ විහාරස්ථානයේ තිබී රස පරීක්ෂක වෙත යොමු කළ පාපිස්සක තිබූ ශුක්‍රාණු සාම්පල උන්වහන්සේගේ DNA සමග ගැළපෙන බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව දැරිය විසින් පාපිස්සට පල්ලේගම හිමි ශුක්‍රාණු දමා ඇතැයි කළ ප්‍රකාශය තහවුරු කරන සාක්ෂියක් ලැබී ඇති බවද වාර්තා වේ.
සිද්ධිය වූ ස්ථානය දැරිය විසින් පෙන්වා දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි මෙන්ම දැරිය ලබාදුන් වීඩියෝ සාක්ෂි අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇත.
