ශ්‍රී ලංකාවේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය, දූෂණය සහ වංචා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් දැඩි ලෙස කඩවී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) නවතම වාර්තාව මගින් හෙළිකර ඇත.
මේ හේතුවෙන් සමාජ සුබසාධන වියදම් සඳහා රටේ ආදායමෙන් වැඩි කිරීමට සිදුව තිබෙන්නේ ඉතාම සුළු මුදලක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) නවතම වාර්තාවේ දැක්වෙයි.
දැඩි සංවාදයට ලක්වූ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සම්බන්ධය මෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ මහජන මුදල් අවභාවිතා කිරීමේ විමර්ශන පිළිබඳව ද අදාළ ‘UNHRC’ වාර්තාව මගින් අවධානය යොමුකර ඇත.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි නිත්‍ය සැසිවාරය අතරතුරදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නවතම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊට පූර්වගාමිව නිකුත් කළ වාර්තාවට අනුව 2026 ශ්‍රී ලංකාවේ අයවැයේ රාජ්‍ය ආදායමෙන් 49.38%ක් ණයවල පොලී ගෙවීම සඳහා වෙන් කිරීමට සිදුව ඇත.
රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව වෙන්කරන විට සෞඛ්‍ය, අධ්‍යාපනය, දුප්පත් සහ දැඩි අවදානමට ලක්වූ ප්‍රජාවන් උදෙසා වන සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් වෙන් කිරීමට හැකිව ඇත්තේ 1.9% ත් 2.4% ත් අතර ඉතා සුළු මුදලකි.
සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය හමුවේ බලශක්ති, ආහාර සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව මත අමතර පීඩනයක් එල්ල විය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය වසර අවසානයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ දූෂණ විරෝධී වැඩපිළිවෙළ, නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම, ආයතන ශක්තිමත් කිරීම, විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීම් හරහා ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව මෙම වාර්තාවේ පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, එම ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී තවමත් අභියෝග රැසක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වර්තමානය වනවිට විමර්ශන රැසක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම මෙම වාර්තාවේ ඇතුළත් කර ඇත.
තවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ මහජන මුදල් අවභාවිතා කිරීම පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නවතම වාර්තාවේ සඳහන් කර ඇත.
