දශක ගණනක් පුරා මෙරට අද්විතීය ගායන මෙහෙවරක නිරත වෙමින් සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී අචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද (22) දින පස්වරුවේ දැයෙන් සමුගත්තේය.
ආචාර්ය විශාරද නන්දා මාලනි මහත්මිය පසුගිය (20) වැනිදා නාවල පිහිටි නිවසේදි සිය දිවි ගමනට සමුදුන් අතර ඇය මියයන විට 82 හැවිරිදි වියේ පසුවූවාය.
සිය සංගීත ජීවිතය තුළ මෙන්ම තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ පවා ඉතාමත් චාම්, සරළ දිවි පෙවතක් ගත කළ නන්දා මාලනී මහත්මිගේ අභාවය සම්බන්ද පුවත මෙරට සමස්ත ප්‍රජාවම ශෝකයට පත් කරනු ලැබීය.
නන්දා මාලනී මහත්මිගේ අභාවය හේතුවෙන් රජය දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව පසුගිය (21), (22) සහ අද (23) දින දක්වා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.
නන්දා මාලනී මහත්මිය විසින් සිය සංගීත ජීවිතය තුළ ගායන කළ ගී රැසක් මෙරට රසික රසිකාවියන් තුළ ඉමහත් ජනාදරයට පත් වු අතර සංගීත ක්ෂේත්‍රයට මිල කළ නොහැකි අමිල මෙහෙවරක් ඉටු කළ ඒ මහත්මිය සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය.
ඇයගේ දේහය නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමය තුළ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණු අතර ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු දේශපාලනඥයින්, කලාකරුවන්, මහජනතාව ඇතුළු නන් දෙසින් බොහෝ පිරිසක් අවසන් ගෞරව දැක්වීය.
ඇයගේ දේහය පිළිබඳව ආගමික වතාවත් අද පෙරවරුවේ සිදු කරනු ලැබූ අතර ඒ සඳහා පවුලේ ඥාතීන් සහ කලාකරුවන් කිහිපදෙනෙකු එක්ව සිටියේය.
අනතුරුව යළිත් වරක් දේහය මහජන ගෞරවය සඳහා විවෘත කෙරුණු අතර පස්වරු 3.30ට පමණ නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල කනත්ත දක්වා ගමන් ආරම්භ කළේය.
නාවල සිට බොරැල්ල කනත්ත දක්වා දේහය රැගෙන යන අතරතුර මග දෙපස විශාල ජනතාවක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටි අතර පස්වරු 4.30 පමණ වනවිට දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබීය.
නන්දා මාලනී මහත්මිගේ අන්තිම කැමති පත්‍රය අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණ කථන පැවැත්වීමකින් තොරව දේහය ආදාහනය කරනු ලැබූවේය.
ඒ අනුව දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ අචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද පස්වරුවේ සදහටම දැයෙන් සමුගෙන ගියේය.
