හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ DNA පරීක්ෂණයක් සඳහා ලබන (16) දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (12) නියෝග කළේය.
නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් මෙම නියෝගය කළේය.
තවද හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේය.
අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි (04) වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව එහිදී නිට්ටඹුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බවත් දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.
එනිසා අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බැවින් රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙසට පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තවද දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමග සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ගැළපේද යන්න අනාවරණය කර ගැනීම සඳහා සිදුකෙරෙන DNA පරීක්ෂණයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ලබන (16) වන දින රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ලබාදෙන ලෙසට සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට නියෝග කළේය.
