පාස්කු ප්‍රහාර මාලාව සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවෝ පසුගිය (17) වැනිදා විත්ති කූඩුවේ සිටිමින් තම විත්ති වාචක ඉදිරිපත් කළේය.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙයි.
අදාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රහීම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිටිමින් පැය දෙකකට ආසන්න කාලයක් සිය විත්ති වාචක ඉදිරිපත් කළේය.
“ස්වාමීනී.. මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙළමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට.
ඒ වගේම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා, අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙළමින් කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහි මේ නඩුව තුළින් චෝදනා 940ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා.”
“පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින සවස කැකුණගොල්ලේ සිට කාත්තන්කුඩියේ පිහිටි තම බිරිඳගේ නිවසට පිටව යමින් සිටි අවස්ථාවේදී දඹුල්ලේදී පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. ඉන්පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මාව භාර දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මාව වසර එක හමාරක් පමණ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ ගණනාවක් සටහන් කර ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගන්නේ අමුතු ආකාරයකට. මුලින්ම ප්‍රකාශ සටහන් කර ගන්නවා. පසුව මුද්‍රණය කළ ප්‍රකාශ අඩංගු ලේඛනවලට අත්සන් ලබා ගන්නවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී මට පහරදීම් සිදු වුණා. ඒ පිළිබඳව මුලින් අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මම ඒ පිළිබඳව පැමිණිලි කළා. මගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් පාපොච්චාරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනියි.
එය මා ස්වේච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් නෙවෙයි. එම පාපොච්චාරණය සඳහන් මුහම්මදු නවුෆර් යන මගේ නම හැර අන් සියල්ලම අසත්‍ය කරුණු. එම පාපොච්චාරණය සටහන් කර ගත් බව කියන විජිත පෙරේරා නමැති නිලධාරියා මා දන්නේවත් නැහැ. ISIS ත්‍රස්ත සංවිධානයට සහය පළ කරමින් මා මුහුණු පොතේ පළකිරීම් සිදු කර තිබූ බවට කර තිබූ චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මා කිසිදු අවස්ථාවක එම සංවිධානයට සහය පළ කරමින් කටයුතු කළේ නැහැ.”
“ස්වාමීනී.. 2005 සහ 2006 වසරවල ‘දූරුල් අදර්’ නමැති සංවිධානයේ සහරාන් හෂිම් කටයුතු කළා. පසුව සහරාන් හෂීම් එම සංවිධානයෙන් ඉවත් වී ජාතික තව්හීද් ජමාත් සංවිධානය නිර්මාණය කළා. මම එම සංවිධානයට විරුද්ධව යි හිටියේ. පසුව මා කටාර් රාජ්‍යයට පිටත්ව ගියා.
කටාර්හි සිටින කාලයේ මම එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන නිරීක්ෂණය කරමින් සිටියා. සහරාන්ගේ NTJ සංවිධානය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණා. ලේ දන්දීම වැනි ප්‍රජා සේවාවන් ඉටු කිරීමේ අරමුණින් තමයි එය ක්‍රියාත්මක වුණේ. 2015 සහ 2016 කාලසීමාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී ක්‍රියාකාරකම් මුදා හැර තිබුණා.
මුස්ලිම් ජනතාවගේ දේපළවලට ප්‍රහාර එල්ල වුණා. ඉස්ලාමීය දේවස්ථානවලට අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් හානි සිදුවුණා. ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීම සිදුවුණා. මුස්ලිම් ජාතිකයින්ගේ පරිශ්‍රවලට ඌරු මස් විසි කිරීම සිදුවුණා. කුලියාපිටිය ප්‍රදේශයේ ඌරෙකුගේ රුව රැගත් පෙළපාළියක් ගමන් කළා. මේ සියල්ල සිදුවුණේ මහ දවල් පොලිසිය සහ ආරක්ෂක අංශවල ඇස් ඉදිරිපිට යි. නමුත් ඒවා වැළැක්වීමට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසිම පියවරක් ගත්තේ නෑ.”
“මේ පිළිබඳව මා ගැඹුරු සොයා බැලීමක් සිදු කළා. එහිදී මා තේරුම් ගත්තා මෙය සාමාන්‍ය සිංහල ජනයාගේ ක්‍රියාවක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ අන්තවාදී පිරිසකගේ ක්‍රියාවන් බවට පෙනී ගියා. එම ක්‍රියා පිටුපස රාජ්‍ය අනුග්‍රහය සහිත දේශපාලන හස්තයක් තිබෙන බව මට තේරුම් ගියා. මේ පිළිබඳව ඉස්ලාමීය මවුලවිවරයකු වශයෙන් මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යැයි මා කල්පනා කළා.”
“2007 වසරේ සිට 2017 වසර දක්වා කාල සීමාව තුළ සහරාන් හෂීම් සමග මගේ කිසි ම සම්බන්ධතාවක් තිබුණෙ නෑ. නමුත් සහරාන් විවාහ වී සිටියේ මගේ ඥාති කාන්තාවක සමග යි. ඒ අනුව සහරන් මා දැනගත්තා. ඔහුගේ සහෝදරයා රිල්වාන්වත් මා දැන සිටියා. නමුත් පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නෑ.”
