Advertisements
Advertisements

සුරේෂ්⁣ සලේට අසාධ්‍යයි.. වහාම බන්ධනාගාරයට දාන්න කියයි

LIVE

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකර අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන එස්.බී. මනෝරි සලේ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාගේ අධිකාරිය යටතේ නිකුත් කර ඇති රඳවා ගැනීමේ නියෝගය මත පසුවන තම ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අතිශය අසාධ්‍ය හා අවදානම් මට්ටමකට පත්ව ඇති බව එම ලිපිය මගින් ඇය සඳහන් කර ඇත.

උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් සුරේෂ් සලේව 2026 ජූනි (07) වන දින ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අසාමාන්‍ය හෘද රෝගී තත්ත්වයන් මතුවීම මත, 2026 ජූනි (27) වන දින ඔහුව ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත මාරු කර විශේෂඥ ප්‍රතිකාර ලබාදී ඇති බවද ඇය සඳහන් කර ඇත.

හෘදයේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව අඩාල වීම හේතුවෙන් ඔහු විශේෂ හෘද සැත්කමකට ලක්කර ඇති අතර ජීවිතයට තර්ජනයක් වන හෘද ස්පන්දන අක්‍රමිකතා පාලනය කිරීම සඳහා ඔහුගේ හදවතට ICD උපකරණයක් බද්ධ කර ඇති බවද ඇය සඳහන් කර ඇත.

එනිසා පවතින රඳවා ගැනීමේ නියෝගය කාලය අවසන් වූ පසුව තවදුරටත් දීර්ඝ නොකරන ලෙසත් ඔහුව නැවත CID භාරයට පත් නොකර අධිකරණ බලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසද ඇය ඉල්ලා ඇත.

0 Comments
Most Voted
Newest Oldest