අසනීපයෙන් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මිය ගියොත් ඒකට සමාව හම්බ වෙන්නේ නැති බව ජාතික සංවිධාන එකමුතුවේ වසන්ත බණ්ඩාර සඳහන් කරයි.
එනිසා සුරේෂ් සලේට තුන්වැනි වරටත් ලබන (28) වැනිදා රැඳවුම් නියෝග ලබා නොදෙන ලෙසට වත්මන් ආණ්ඩුවට බල කරන බවද ජාතික සංවිධාන එකමුතුවේ වසන්ත බණ්ඩාර සඳහන් කරයි.
වසන්ත බණ්ඩාර තවදුරටත් සඳහන් කළේ,
“දැන් එතුමා අසනීපෙන් ඉද්දි මේ දෙන වධ බන්ධන දීලා, එතුමා මිය ගියොත් එහෙම මේ රටේ ජනතාවගෙන් ඒකට සමාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ආණ්ඩුවට බල කරලා කියනවා.
28 වෙනිදාට පෑන අතට ගන්න ලෑස්ති වෙන්න එපා. අනුර දිසානායක ජනාධිපතිතුමා වහාම මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන. මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන ඔහුව නිදහස් කරන්න කියන ඉල්ලීම අපි කරනවා.”
“සලේට යුක්තිය – සංවාද මණ්ඩපය” නමින් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වසන්ත බණ්ඩාර මේ බව සඳහන් කරයි.
එහිදී අදහස් දැක්වූ සර්වජන බලයේ උපසභාපති අනුරාධා යහම්පත් සඳහන් කළේ,
“දැන් මාස හයක් ඔහු අත්අඩංගුවේ රැඳී සිටිනවා. ඔහු ඉතාමත්ම රෝගාතුර තත්ත්වයක සිටින්නේ. ඔහුව රෝගාතුර තත්වයකට එනකං ඔහුට ඉතාමත්ම කෲර ලෙස සැලකූ බවත් අපි දන්නවා.
ඊළඟට විසිඅටවෙනිදා වෙනකොට තුන්වෙනි වරටත් ඔහුට බඳවා ගැනීමේ නියෝගය තවදුරටත් තිබෙනවාද නැද්ද කියන දේ, ජනාධිපතිතුමා තවදුරටත් රණවිරුවාගෙන් පළිගන්නා බවට ජනතාවට පෙන්වා දෙනවාද.
එහෙම වුවොත් ජනතාවට ඔහුට වග කියන්නට සිදුවෙනවා. මොකද ජනතාවත් දැන් අවබෝධ කරගෙන තියෙන්නේ මේ රණවිරු පළිගැනීමක් කියන එක.”
