By unusuma.lk on [last-modified] (LK time)
කිලෝවෝට් 132,000ක ධාරිතාවයෙන් යුත් රන්දෙණිගල, රන්ටැඹේ, මහියංගනය අතර ඇති රැහැන් මාර්ගයද මේ වන විට කඩා වැටී අතර එය යථා තත්ත්වට පත් කිරීම සඳහාද ළඟා විය නොහැකි මට්ටමක් දක්වා පැමිණ ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා පවසයි.
පවතින අයහපත් කාලගුණය හමුවේ මේ වනවිට සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
තවද පවතින තත්ත්වය යටතේ කොත්මලේ ජල විදුලි බලාගාරය සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
අද (28) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ පවතින තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමද දුෂ්කර කාර්යක් වී ඇති බවය.
එම විදුලි විසන්දි වීම් යටතේ නැගෙනහිර, මධ්‍යම, උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් විසන්දි වීම් වාර්තා වී ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා,
“ඒ රැහැන් මාර්ගයේ කුළුනක් කඩාගෙන ගිහින් තියෙනවා. එක අලුත්වැඩියා කරනකන් අපිට මහියංගනය, අම්පාර, වවුනියාව ප්‍රදේශවලට විදුලි සැපයීම අපහසුවෙලා තියෙනවා. තවම ටවර් එක වතුරෙන් යටවෙලා තියෙන්නේ ඒ නිසා අලුත්වැඩියා කරගන්න බැහැ අපිට. මීට අමතරව බෝවතැන්න බලාගාරයේ ඉඳලා උකුවෙල දක්වා දිවෙන රැහැන් මාර්ගයේත් කුළුනක් ගැලවිලා ගිහින් තියෙනවා. මේ නිසා බෝවතැන්නෙන් පිටවන ජලය පිටකර ගන්න බැරි නිසා බෝවතැන්න බලාගාරයත් ආරක්ෂිතව තියාගන්න ඕන නිසා විදුලිය විසන්දි කරලා තියෙනවා. මීට අමතරව ඉහළ කොත්මලේ බලාගාරය ඕෆ් කරන්න වෙලා තියෙනවා හේතුව ඒකට එන ජලය මඩ සහිත සහ රෙඩු ගොඩක් එක්ක එන්නේ ඒ නිසා ඒ පවර්ස්ටේෂන් එකත් ඕෆ් කරන්න වෙලා තියෙනවා.
මේ වගේම කොත්මලේ බලාගාරයේ ජෙනරේටර්ස් තුනෙන් එකක් අපිට ඕෆ් කරන්න වුණා වතුර කාන්දුවක් හේතුවෙන් අනිත් දෙක මේ වන විට ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අනෙකුත් සියලුම බලාගාර මේ වෙනකොට උපරිමයෙන් වැඩ කරනවා. මීට අමතරව රන්ටැඹේ බලාගාරයත් අපිට ඕෆ් කරන්න වෙලා තියෙනවා.
25%-30% ක ප්‍රමාණයකට මේ වෙනකොට විදුලිය නැහැ. නමුත් මේක අපිට හරියටම ගණනය කරගන්න බැහැ මොකද අපි හැමෝම යම් යම් ප්‍රදේශ ආශ්‍රිතව කොටුවෙලා ඉන්නේ. ඒ වගේම නුවර ගත්තාම අපේ ප්‍රාථමික උප පොළක් තියෙනවා ගැටඹේ පන්සල කිට්ටුව ඒක සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙලා තියෙන්නේ. ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාල ප්‍රදේශයට සහ නුවර නගරය ප්‍රදේශයට විදුලිය සැපයීම කරගන්න බැරි වෙලා තියෙනවා.
ඒ වගේම අපි තවත් රැහැන් මාර්ග කිහිපයක්ම අපි ඕෆ් කරලා තියෙනවා. මොකද රැහැන් මාර්ග ජලයට කාන්දු වීමක් සිදුවුණොත් ජීවිත අනතුරු වෙන්න පුළුවන්, අපේ උපකරණවලට හානි වෙන්න පුළුවන් ඒ නිසා අපිට මහජන ආරක්ෂාව පතා විදුලිය විසන්දි කරන්න වෙලා තියෙනවා.
අපි මේ වෙලාවේ තනිකර යොදවලා තියෙන්නේ විදුලි අලුත්වැඩියාව සඳහා. අපි මේ වෙලාවේ සලකා බලන්නෙත් අත්‍යවශ්‍ය ස්ථාන සඳහා විදුලිය සැපයීම ප්‍රමුඛතාව යටතේ. ඉන් අනතුරුව තමා අපිට ගෘහස්තයින් සම්බන්ධව බලන්න වෙන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ සමහර ප්‍රමාදයන් සිදුවේවි අපිට ප්‍රමුඛතාවයන් මත තමා විදුලිය සැපයීම් සිදුකරන්න වෙන්නේ. අපිට ලක්ෂ 70ක් පාරිභෝගිකයින් ඉන්නවා. මේ වෙනකොට විශාල පාරිභෝගිකයින් ප්‍රමාණයකට විදුලිය සැපයීම අහිමි වෙලා තියෙනවා. මේවා අලුත්වැඩියා කරන්න වතුර තත්ත්වය බැහැලා යනකන් ඉන්න වෙනවා.”






