එයාර් බස් ගනුදෙනුවේ මොළකරු මහින්ද මිලියන 60ක් අල්ලස් අරන්

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබාදී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. 

ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද අල්ලස් කොමිසම සඳහන් කළේය. 

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කපිල චන්ද්‍රසේනව අප්‍රේල් (02) වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇත.

කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥ රියෙන්සි අර්සකුලරත්න සඳහන් කළේ, සිය සේවා දායකයාගෙන් ප්‍රකාශ ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් රංග දිසානායක විසින් කපිල චන්ද්‍රසේන යන අය වෙනත් කාමරයකට කැඳවා ඔහුට තර්ජනය කර තිබෙන බවයි.

අනතුරුව අල්ලස් කොමිසම එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර කපිල චන්ද්‍රසේන ලබාදීමට නියමිත දිවුරුම් ප්‍රකාශයේ තිබුණු කරුණු පිළිබඳ ප්‍රශ්න කිරීමට රංග දිසානායක ඔහු සමග සාකච්ඡා කළ බවත් අධිකරණය ඉදිරියේ සදහන් කළා.

එහිදී සියලු කරුණු නොසඟවා පවසන ලෙස රංග දිසානායක කපිල චන්ද්‍රසේන හට ප්‍රකාශ කළ බවත් ඒ හැරුණුකොට වෙනත් කිසිඳු තර්ජනයක් සිදුනොකළ බවත් අල්ලස් කොමිසම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නිලධාරින් අධිකරණය වෙත පෙන්වා දුන්නා.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments