මැදපෙරදිග පවතින යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
දින 5ක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,
“පසුගිය දින දෙක තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර, මැද පෙරදිග අපගේ සතුරුකම් පිළිබඳ සම්පූර්ණ විසඳුමක් සම්බන්ධයෙන් ඉතා හොඳ සහ ඵලදායී සංවාද පවත්වා ඇති බව මම සතුටින් වාර්තා කරමි.”
“මෙම ගැඹුරු සහ සවිස්තරාත්මක සංවාද මෙම සතිය පුරා දිගටම පවතිනු ඇත, අඛණ්ඩ රැස්වීම් සහ සාකච්ඡාවල සාර්ථකත්වයට යටත්ව ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එරෙහිව ඕනෑම සහ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයක් සඳහා කල් දැමීමට මම යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තෙමි. මෙම කාරණය කෙරෙහි ඔබේ අවධානයට ස්තූතියි.”
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ඉරානය විසින් ප්‍රතිචාර දක්වා ඇත.
ජනපති ට්‍රම්ප් සමඟ සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවක් නැති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
“අපගේ ඉලක්කවලට බටහිර ආසියාවේ සියලුම විදුලි බලාගාර ඇතුළත් වන බව ඇසීමෙන් පසුව, ඔහු පසුබැස ගියා” යනුවෙන් ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
මේ අතර අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව එල්ල කළ ප්‍රහාර වලින් පසුව උග්‍ර තත්ත්වය පත්ව ඇති යුද ගැටුම සඳහා සටන් විරාමයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් සඳහන් කරයි.
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් සඳහන් කළේ,
“අපිට සටන් විරාමයක් අවශ්‍ය නැහැ. සටන් විරාමය තාවකාලික කාරණයක්. ටික කාලෙකට පස්සේ එයාලා ආයෙත් පහර දෙයි. අපට අවශ්‍ය වන්නේ අපේ පූර්ව කොන්දේසි එක්ක සාමය සඳහා සාකච්ඡා කිරීම. අපට පූර්ව කොන්දේසි කිහිපයක් තියෙනවා. ඒ පූර්ව කොන්දේසි සැපිරෙනවා නම් ඔව්, අපට සාකච්ඡාවලට යා හැකියි.”
කෙසේ වෙතත් “දැන් අපට අපගේ ආක්‍රමණිකයන් සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය නැත,” යනුවෙන්ද ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය “විහිලුවක්” බවට පත්ව ඇති අතර ඉරානය පවසන ආකාරයට ට්‍රම්ප් එම ප්‍රකාශය කළේ ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් වැඩි කිරීම සඳහා බවයි.
මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් වී නොමැති අතර ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයෙන් පසුවත් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර ඉරානය විසින් එල්ල කර ඇත.
මැදපෙරදිග යුද ගැටුම් අවසන් වී නොමැති අතර ජනපති ට්‍රම්ප් එම ප්‍රකාශය කළේ ඇත්තටම අමෙරිකාව යුද්ධයෙන් ඉවත් වීමටද.? එසේත් නැතිනම් ඉරානය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ගත් කපටි උත්සාහයක්ද.?
