පළාත් සභා මැතිවරණයට බාධා.. නීතිපති සහ මැකෝ පාර්ලිමේන්තුවට

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් කැඳවා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධා පිළිබඳව විමසීමට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කරුණු සොයන පාර්ලිමේන්තු  විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා, නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පළමු වරට පසුගිය (17) වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට බලාත්මකව පවතින 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමේ වැදගත්කම සිහිපත් කළ සභාපතිවරයා, ඒ සඳහා මීළඟ රැස්වීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට යෝජනා කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments