ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය අද (25) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී වූයේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු Santosh Jha විසින් ආරක්‍ෂක ලේකම්වරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් “නව අවස්ථා හඳුනා ගැනීම සහ නව සබඳතා ගොඩනැගීම” (Identifying New Opportunities and Forging New Bonds) යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණය මෙවර පැවතියේ තුන්වන වතාවට වීම විශේෂත්වයකි.
එහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ, දිනෙන් දින වර්ධනය වන ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, දෙරට අතර අන්‍යොන්‍ය විශ්වාසය සහ පොදු ආරක්ෂක අවශ්‍යතා මත පදනම් වූ දීර්ඝකාලීන සබඳතාවක් බවයි.
තවද, ඉන්දියාව තුළ වේගයෙන් දියුණු වන ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍ර සඳහා ඉතා වටිනා අවස්ථාවන් සැලසෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වඩා විශ්වාසදායී සහ පිරිවැයමය වශයෙන් ඵලදායී නූතන තාක්ෂණික මෙවලම් සඳහා ප්‍රවේශය ලැබීම මෙන්ම ඊට අදාළ පුහුණුව, තාක්ෂණික හුවමාරුව සහ ඒකාබද්ධ ව්‍යාපාර සඳහා පවතින අවස්ථා මගින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමටත්, දෙරට අතර දිගු කාලීන උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇත.

