ජනතාවට රජයෙන් ලැබෙන සම්පූර්ණ සහන පැකේජය මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) දින පාර්ලිමේන්තුවේදී රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කළේය.

ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

අස්වැසුම සහනාධාරය =

අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබාදීම.

රුපියල් 7,500ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙන ලබාදීම.
රුපියල් 5,000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබාදීම.
රුපියල් 2,500ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබාදීම.

විදුලි සහනාධාරය =

ඒකක 90ට අඩු අයට සහන දීම සඳහා රුපියල් බිලියන 15ක් වෙන්කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබාදීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දැරීම.

පොහොර සහනාධාරය =

හෙක්ටයාරයකට රුපියල් 25,000ක් ලෙස ලබාදෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 30,000ක් දක්වා ඉහළ නංවීමට කටයුතු කර ඇත.

අතිරේක භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය යල කන්නය සඳහා රුපියල් 18,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

ගොවීන්ට, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 10,200ක ස්ථාවර මිලකට ලබාදෙනු ලබනවා.

ධීවර සහනාධාරය =

එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රුපියල් 50 බැගින් වූ සහනාධාරයක් මාස 03ක් සඳහා ලබාදීම.

ඉදිරි මාස 03 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රුපියල් 150,000ක් එකවර ගෙවනු ලබන දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇත.

තේ වතු හිමියන්ට සහන =

කුඩා තේ වතු හිමියන් දිරිමත් කිරීම සඳහා දැනට ලබාදෙන රුපියල් 4,000ක දීමනාවට අමතරව, එක් වරකට පමණක් පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

මෙම සමස්ත සහන පැකේජය වෙනුවෙන් රජය රුපියල් මිලියන 6,500ක අතිරේක මුදලක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments