ශ්‍රී ලාංකික 18 හැවිරිදි තරුණියක් ඉන්දියාවේ චෙන්නායි හි කොයිම්බතූර්හිදී ඝාතනය කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ විලුප්පුරම් දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක පදිංචිව සිටි 18 හැවිරිදි යාන්සි නමැති තරුණියකි.
පෞද්ගලික රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලාංකික තරුණිය සමාජ මාධ්‍ය හරහා චෙන්නායි හි පදිංචි කාන්තාවක සමඟ මිතුරු වී ඇති අතර ඇයව මුණගැසීම සඳහා චෙන්නායි වෙත ගොස් ඇත.
අනතුරුව ඔවුන් දෙදෙනා රාත්‍රී කාලයේදී කොයිම්බේඩුහි පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී වෙනත් කණ්ඩායමක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ.
පසුව අදාළ තරුණිය ඉන් පිටව විත් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වය විසින් මෝටර් රථයෙන් ඇයව අනතුරට ලක් කර ඝාතනය කර ඇති බව වාර්තා වේ.
යතුරු පැදියේ ගමන් කළ අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම අනතුර සිදුකළ මෝටර් රථයේ දේශපාලන පක්ෂයක ධජයක් සවිකර තිබූ බව අනාවරණය වී ඇත.
අදාළ රාත්‍රී සමාජ ශාලාවට මුද්‍රා තබා එම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.
