හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇත.
2023 දෙසැම්බර් (30) වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම කර තිබුණි.
වැලිගම හෝටලයට වෙඩි තබා පලායමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් ගත් ව්‍යාජ අංක සවිකළ වෑන් රථයට නතර කරන ලෙස වැලිගම පොලීසියේ කැබ් රථයේ සිටි නිලධාරීන් අණ කළද එම වෑන් රථය නොනවත්වා ධාවනය කර තිබුණි.
එහිදී වැලිගම පොලීසියේ නිලධාරීන් සමඟ කැබ් රථයේ රාජකාරියේ සිටි හමුදා නිලධාරියකු සැකකටයුතු වෑන් රථයට වෙඩි තබා ඇති අතර එහිදී වෑන් රථයේ සිටි පොලිස් නිලධාරියකු වෙඩි වැදී මියගොස් තිබුණි.
