පසුගිය 2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවකදී රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබූ චෝදනා එම විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දී තිබූ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) ඉවත දැමීය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි ,අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මෙම තීන්දුව අද (01) ප්‍රකාශයට පත් කළේය.
එබැවින් චූදිතයින්ට සහ චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපල පනත යටතේ නඩුව පවත්වාගෙන යා හැකි බව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව කඩිනමින් විභාග කරන ලෙසට නියම කළේය.
