2023 වසරේ මාර්තු මාසයේදී හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක චරිත් අබේසිංහ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුෂහැන්නදිගේ ඩුබායි රාජ්‍ය වෙත ගොස් එහිදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇත.
එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතු වලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.
අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර අනතුරුව තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශන වලදී අනාවරණවී ඇත.
අද (03) නඩුව කැඳවූ අවස්ථාවේදී මෙහි දෙවන සැකකරු වන රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ 2023 මාර්තු (21) වැනිදා ඩුබායි බලා පිටත්ව ගොස් 2023 මාර්තු (28) වැනිදා යළි දිවයිනට පැමිණ ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.
