ඊයේ (06) දින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයක් වශයෙන් සම්පූර්ණ වගකීම භාරගන්නා බවත් ඒ පිළිබඳව විධිමත් පූර්ණ විමර්ශන කිහිපයක් ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම ඇතිවී තිබෙන බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ඊට හේතු සෙවීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කරමින් පවතින බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
එම කමිටුව සඳහා විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් යන ජේෂ්ඨ නීතිඥවරුන් පත් කර ඇති බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
තවද, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සහ බන්ධනාගාර නිලධාරීන් අභ්‍යන්තර විමර්ශනයක් වශයෙන් තවත් පරීක්ෂණ දෙකක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර තවදුරටත් සඳහන් කළේ,
“මේ ගැටුම වෙන්නේ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර. මත්ද්‍රව්‍ය ගැන අපිට තොරතුරු දුන්න රැඳවියෝ තමා ඉස්සෙල්ලාම ප්‍රහාරයට ලක්වෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ගැටුමක් විය හැකියි කියලා. මා මේ කියන සියලු කරුණු තහවුරු වෙන්නේ කමිටු වාර්තාවලින් පසුව. මේ මට මේ මොහොතේ තියෙන තොරතුරු පමණයි. පරීක්ෂණ අනුව වෙනස් විය හැකියි.
මොවුන් ප්‍රහාර එල්ල කරලා CCTV කැමරා ටික කඩනවා. හැමෝම නෙමෙයි කෙටි පිරිසක්. බොඩි ස්කෑනර් එක කඩනවා. මොවුන් නාකොටික් සහ අනීතික දේවල් බන්ධනාගාරය තුළට ඒමට තිබෙන යාන්ත්‍රණය අඩපණ කළ බව තමා තේරෙන්නේ. ප්‍රහාරයට ලක්වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ට පහර දෙනකොට අනිත් අය ඇවිත් තියෙන්නේ.
බහුතරයක් නිලධාරීන් අමානුෂික පහරදීමට ලක්ව මියයන්නේ. දිවි හිමිවෙන් රැකියාව කරපු නිලධාරීන්ට මගේ ගෞරවය. යකඩ දොර කඩාගෙන ඔවුන් එතැනින් එළියට එනවා. දැනට තියෙන තොරතුරු අනුව ඔවුන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා. ඒක කොහොමද වුණේ කියලා විමර්ශනය හරහා හොයනවා.”
“අපි රජයක් වශයෙන් කුමක්ද ඉස්සෙලාම කළ යුත්තේ. ඉස්සෙල්ලාම කරගන්න ඕනේ වෙච්ච වැරදීම් තේරුම් අරන් වැරදි නිවැරදි කරගන්නා ඒක. ඒ නිසා මේ සිද්ධිය ගැන පූර්ණ විමර්ශන මේ වන විට පැවැත්වෙනවා. මේ තත්ත්වය ඉස්මතු වුණේ ඇයි. බන්ධනාගාර තදබදයද.? වෙනත් හේතුවක්ද.?
කියන මේ සියලුම කරුණු සොයා බලා මේක නැවත නොවෙන ආකාරයට සකස් කිරීම තමයි අපේ වගකීම විය යුත්තේ. මෙන්න මේ හේතුව හින්දම මේ වන කැබිනට්ටුව හරහා විශ්‍රමික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා, මිලින්ද ගුණතිලක මහතා ඇතුලු කමිටුවක් මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින් පත්කරමින් පවතිනවා.”
