වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් බවත්, ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවීම, දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ වගා බිම් සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීම, වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම මෙන්ම මහා පරිමාණ වාරි ජල ව්‍යාපෘතිවල කටයුතු යළි ආරම්භ කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට පියවර ගැනීම ඇතුළු ගොවි ජනතාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් රජය ඉටු කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (10) දින එක් වෙමිනි.
1990 දශකයේ සිට මෙම ප්‍රදේශවල ව්‍යාප්ත වන හඳුනාගත නොහැකි වකුගඩු (CKD) රෝගය සඳහා පිරිසිදු පානීය ජලය නොමැතිකම ප්‍රධාන හේතුවක් බව අනාවරණය වී තිබෙන බවත්, එබැවින් මෙම ව්‍යාපෘතිය හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් නොව, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දුන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වෙතත්, ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙතත් ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා ව්‍යාපෘතියෙහි කටයුතු නිසි කාලය තුළ අවසන් කර, එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට සියලුදෙනා කැපවනු ඇති බවටද විශ්වාසය පළ කළේය.
එමෙන්ම ඉතිහාසය පුරා රට තුළ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද මේ වන තෙක් පිරිසිදු පානීය ජල පහසුකම හිමිව ඇත්තේ 60%ක (පවුල් ලක්ෂ 42-43) පමණ ජනතාවකට පමණක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව රුපියල් කෝටි 2000ක් වැය කරමින් පානීය ජල සම්පාදන ව්‍යාපෘති 22ක වැඩ ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, පැරණි ව්‍යාපෘති දිගු කිරීම සහ නව ව්‍යාපෘති මගින් අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයුම් ලබා දීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙන බවත් සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“මේ ගොවි ජනපදවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගෙනයි අපේ ආණ්ඩුව වැඩ කරන්නේ. ඔවුන්ට දැන් ජීවත්වන තත්ත්වයට වඩා හොද ජීවිතයක් උරුම කර දීම අපේ වගකීමක්. එපමණක් නොවෙයි ගොවි ජනතාවට දැනට හිමිව තිබෙන සමාජ වටිනාකමට වඩා ඉහළ සමාජ වටිනාකමක් සහ ගරුත්වයක් උරුම කර දීම අපේ වගකීමක් වෙනවා.
මේ ප්‍රදේශවල ජනතාව චක්‍රීය දුප්පත්කම නිසා ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මේ චක්‍රීය දුප්පත්කමින් ඔවුන් ගොඩගැනීමට නම් ප්‍රධානම දේ වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසා අපි අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සඳහා අවශ්‍ය පියවර තබා තිබෙනවා. එහිදී විශේෂයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ 06 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
අපේ දරුවන්ට ලෝකයේ නවීන දැනුම උකහාගත හැකි පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය පරිවර්තනය කළ යුතුයි. ඒ වගේම අපේ රටේ බිඳ වැටී තිබෙන පාසල් පද්ධතිය ඉතා හොඳ පහසුකම් සහිත නවීකරණය වූ පාසල් පද්ධතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි ලබා දී තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල පවතින සියලු නේවාසිකාගාර ගැටලු විසඳීමට අපි අපේක්ෂා කරනවා.
ඒ වගේම 2032 වසර වන විට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ලංකාවේ විවෘත කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ නිසා අපේ රටේ දරුවන්ට අනාගතයේ දොරටු විවෘත කළ හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි සිදු කරනවා. ඒ වගේම පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. අපි මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම භාරගත් ආණ්ඩුවක්.
ඒ වගේම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවමින් ඔවුන්ට නිරෝගී ජිවිතයක් උරුම කර දීමේ වගකීම අපි මේ වන විට ඉටු කරමින් සිටිනවා. දිවයින පුරා රෝහල් ඉදි කිරීම පමණක් නොවෙයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ තිබෙන තැනින් ඉහළට ගෙන යා යුතුයි. රෝහල් සඳහා කොපමණ ගිලන් රථ ප්‍රමාණයක් අවශ්‍යද ඒ සියල්ලට 2027 වසරේදී මුදල් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා.
අද විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව නිසා රෝග කලින් හඳුනා ගැනීම, ඉතා ඉක්මණින් සුවපත් වීම ඉහළ මට්ටමක පවතිනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණ මොනවද කියලා අපිට දැනුම් දෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි උපදෙස් දුන්නා. ලබන වසරේදී අපි රුධිර කාන්දුකරණ (Dialysis) මධ්‍යස්ථාන 10ක් ඇති කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉහළට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට අපි සූදානම්.
එපමණක් නොවෙයි, පානීය ජලය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. අපේ රටේ පළමු වකුගඩු රෝගියා හමු වුණේ 1990 දශකයේ මුල්භාගයේදී මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී. දශක ගණනාවක් යන විට එය ව්‍යාප්ත වීමට පටන් ගත්තා. අද වකුගඩු රෝගයෙන් පුද්ගලයෙක් මිය ගිය විට එය හඳුන්වන්නේ හඳුනා නොගත් වකුඩු රෝගය නිසා වකුගඩු අක්‍රිය වීමෙන් මිය යනවා කියලා.
ඒ සඳහා පර්යේෂණ අපි ක්‍රියාත්මක කළ යුතුයි. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙක් සිටින පවුලක් මහා ඛේදවාචකයකට මුහුණ දෙනවා. ඒ නිසා වකුගඩු රෝගයට හේතුවක් ලෙස හදුනාගෙන ඇති පිරිසිදු පානීය ජලය අපි ගම්වල ජනතාවට ලබා දිය යුතුයි. දශක ගණනාවක් අපේ රටේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. ජල සම්පාදන මණ්ඩලය, ප්‍රජා ජල සේවා මගින් දශක ගණනාවක් පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. හැබැයි ඒ මුළු කාලය තුළම අපේ රටේ 60%ක වගේ ප්‍රමාණයකට තමයි ජල සම්පාදන මණ්ඩලය සහ ප්‍රජා ජල සේවාවන් මගින් ජලය ලබා දෙන්නේ.
60% ජලය සපයන්න දශක කීයක් ගතවී තිබෙනවද.? ආසන්න වශයෙන් ගත් විට පවුල් ලක්ෂ 42, 43කට ආසන්න ප්‍රමාණයකට තමයි පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ. එය ඛේදවාචකයක්. ඒ නිසා පසුගියදා මම සියලුම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු වෙන වෙනම කැඳවා දැනුම් දුන්නා තමන්ගේ ප්‍රදේශවල කවර හෝ ශක්‍යතා අධ්‍යයනයක් කර පානීය ජල ව්‍යාපෘති හඳුනාගෙන තිබෙනවා නම් එය දැනුම් දෙන්න, ඒ සියලු පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා 2027 මුදල් වෙන් කිරීමට සූදානම් කියලා.
ශක්‍යතා අධ්‍යයන සිදු කර අවසන් කර තිබෙන සෑම ජල ව්‍යාපෘතියක්ම ලබන වසරේ ආරම්භ කරනවා. ඒ අනුව අලුතින් ජල ව්‍යාපෘති 22ක්, ආසන්න වශයෙන් ගත් විට රුපියල් කෝටි 2,000ක් වැය කරමින් ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පැරණි ව්‍යාපෘති දිගු කිරීම සහ නව ව්‍යාපෘති මගින් අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයුම් ලබා දීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර තිබෙනවා.
මුළු ඉතිහාසයේම මෙම ප්‍රතිලාභය හිමිව තිබෙන්නේ පවුල් ලක්ෂ 43කටයි. පවුල් ලක්ෂ 10කට අලුතින් පානීය ජල සැපයුම් ලබා දීමේ ව්‍යාපෘති මේ වසරේ අපි ආරම්භ කරනවා. එම ව්‍යාපෘති අතර තිබෙන මෙම අනුරාධපුර උතුර ජල ව්‍යාපෘතියෙන් ආසන්න වශයෙන් ගත් විට පවුල් 67,000කට ජලය ලබා දීමට හැකියාව ලැබෙනවා. මෙවැනි ව්‍යාපෘති ගණනාවක් අපි රට පුරා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. රටේ ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දීම ආණ්ඩුවක වගකීමක්.
එම වගකීම අපි ඉටු කරනවා. අපේ ගොවි ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තයයි. මේ රටේ ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් තමයි අද ඔබ මැදිහත්වී ගොඩනගා තිබෙන්නේ. කිසිදු ආණ්ඩුවක් මේ ප්‍රමාණයෙන් ගොවි ජනතාව බලාගත්තේ නැහැ. අපි ආණ්ඩුව භාරගන්නා විට පොහොර සහනාධාරය තිබුණේ රුපියල් 15,000යි. අද අපි එය දෙගුණයකින් වැඩි කර රුපියල් 30,000ක පොහොර සහනාධාරයක් ලබා දෙනවා. ඒ වගේම දිට්වා සුළි කුණාටුව හමුවේ වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශ වුණා.
ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දෙමින් අපි ගොවි ජනතාව බලා ගත්තා. පළමු වතාවට එළවළු,පළතුරු වගාවන් ඇස්තමේන්තු කර ඒ සඳහාද වන්දි ලබා දුන්නා. හානි වූ සියලු බෝග සඳහා ඉහළ වන්දියක් ලබා දුන්නා. ඒ වගේම සත්ව ගොවිපොළ සඳහා වන්දි ලබා දුන්නා. මේ අයුරින් ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් මෙතෙක් ගොඩනැගී නැහැ. ඔබ ව්‍යසනයකට මුහුණ දුන් සෑම අවස්ථාවකම අපි ඒ සඳහා මැදිහත් වුණා. දිට්වා වලින් විනාශ වූ වැව් 65ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම මේ උතුරු මැද පළාතේ විනාශ වූ ඇලවේලි ප්‍රතිසංස්කරණය සඳහා මේ වසරේ රුපියල් කෝටි 200ක් වෙන් කර තිබෙනවා. එමෙන්ම, විශාල වාරිමාර්ග ව්‍යාපෘති ගණනාවක් අපි ආරම්භ කර තිබෙනවා. පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය දශක ගණනාවක් සාකච්ඡාවට ලක් වුණා. විලච්චිය, තන්තිරිමලේ ප්‍රදේශයේ ජනතාව විශාල ජල හිඟයකින් පෙළෙනවා. සියවස් ගණනාවක් මුළුල්ලේ මල්වතු ඔයේ විශාල ජල ධාරිතාවක් මහ මුහුදට ගලාගෙන යනවා.
අපි තීරණය කර තිබෙනවා පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට. ආසන්න වශයෙන් ගත් විට ඒ සඳහා රුපියල් කෝටි 4,000ක් වැය වෙනවා. අපි මේ වසරේ එම ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ලබන වසරේ පමණක් කෝටි 700ක වැඩ අවසන් කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. ඒ වගේම දීර්ඝ කාලයකට පෙර වැඩ ආරම්භ කළ උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ අතරමග නැවතී තිබෙනවා. එම ව්‍යාපෘතියද කඩිනමින් අවසන් කර මහකනදරා වැව දක්වා වතුර ගෙන ඒමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
මේ ඓතිහාසික ගොවි බිම්වල සිටින ජනතාව බලා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම අපේ වගකීමක්. ඒ වගේම මහකන්නයේ, කන්නය පහු වී අස්වැන්න නෙළපු ජනතාවගේ වී මිලදී ගැනීමේ ගැටලුවක් මතු වුණා. ආණ්ඩුව වී මිලදී ගැනීමෙන් පසුව ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙළුවා. එම ජනතාව යම් ගැටලුවකට මුහුණ දි සිටිනවා. අපි එය විසඳනවා. ඒ වගේම යල කන්නයේ අස්වනු නෙළීම දැන් ආරම්භ වී තිබෙනවා. වී අස්වනු සාධාරණ මිලකට විකුණා ගන්න බැරිනම් එය ගොවි ජනතාවට සිදුවන අසාධාරණයක්. ඒ නිසා ගොවි ජනතාවට සාධාරණ මිලකට වී මිලදී ගැනීමට අපි උපරිමයෙන් මැදිහත් වී තිබෙනවා.
අපි පහුගිය මහ කන්නයේ දස ලක්ෂ දහ දාහක වී මිලදී ගත්තා. අපි අයවැයෙන් එම මුදල් වෙන් කළේ යල සහ මහ දෙකන්නයේම වී මිලදී ගැනීමට. හැබැයි වී අළෙවි මණ්ඩලය එම මුදලින් මහ කන්නයේදීම වී මිලදී ගත්තා. ඒ අනුව යල කන්නයේ වී මිලදී ගැනීමට දස ලක්ෂ හය දාහක් වෙන් කළා. ඒ අනුව පසුගිය යල කන්නයේ සහ මේ මහ කන්නනයේ වී මිලදී ගැනීමට දස ලක්ෂ දහසය දහසක් වෙන් කර තිබෙනවා. ඒ වගේම මෙවර යල කන්නයේ නැවත වී මිලදී ගැනීම සදහා දස ලක්ෂ හයදාහක් වෙන් කළා.
ඒ කියන්නේ පසුගිය යල කන්නය, මහ කන්නය සහ මෙවර යල කන්නයේදි ආණ්ඩුව දස ලක්ෂ විසි දෙදහසක් වී මිලදී ගැනීමට වෙන් කර තිබෙනවා. ඒ වගේම අපි වී ගබඩා ප්‍රතිසංස්කණය කරමින් තිබෙනවා. පෞද්ගලික අංශයත් දායක කර ගනිමින් ගබඩා ධාරිතාව ඉහළ නංවා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට වී මිලදී ගැනීමට අවශ්‍ය ණය මුදල් අඩු පොලී යටතේ ලබා දී තිබෙනවා. අපි පියවරින් පියවර ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සිටිනවා. අද රටේ ජනතාව මේ ආණ්ඩුව සමග සිටිනවා. කිහිප දෙනෙකුගේ ගෝරනාඩු තිබෙනවා, ඒ කෙසේ වෙතත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුව සමග කියන විශ්වාසය අපිට තිබෙනවා.
ජනතාව අපේක්ෂා කරන එම පරිවර්තනය අපි ඇති කරනවා. මෙම කටයුතුවලදී ජපාන රජය සහ ජයිකා ආයතනය අපිට විශාල සහායක් ලබා දෙනවා. 2022 වසරේ අපි ණය පැහැර හැරීම නිසා ජයිකා ආයතනය ක්‍රියාත්මක කළ සියලු ව්‍යාපෘති නතර වුණා. කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය නතර වුණා. රූපවාහිනි ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කළේ 2013 වසරේදී. වසර 13ක් ගත වී තිබුණත් ව්‍යාපෘතිය ආරම්භ කර නැහැ. අපි ඉතා ඉක්මණින් එම ව්‍යාපෘතිය ආරම්භ කර ඉක්මණින් එහි කටයුතු අවසන් කරනවා.
ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය අතරමග නතර වුණා. අපි එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මේ වසරේ ඔක්තෝම්බර්, නොවැම්බර් පමණ වන විට එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබේවි. ඒ සදහා ජපාන රජය දක්වන සහායට අපි ස්තූතිවන්ත වෙනවා.”
