වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා සෑහෙන කාලෙකින් විපක්ෂයේ සියලු දේශපාලන කණ්ඩායම් වල නායකයින්ට විපක්ෂ නායක කාර්යාලය වෙත යාමට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.
ආණ්ඩුව දැන් මේ රටේ අධිකරණය සිරගත කර තිබෙන බවත් එයින් අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීමට සියලු මත දරන විපක්ෂයේ දේශපාලන බලවේග වලට අවශ්‍ය බවද විමල් වීරවංශ සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කළේ,
“මේ සෑහෙන කාලෙකින් විපක්ෂ නායක කාර්යාලයට අපිට යන්න කියලා තියෙනනේ ආණ්ඩුව. නැත්නම් විපක්ෂ නායක සමග ප්‍රධාන වශයෙන් එකතු වෙලා සාකච්ඡාවක් පවත්වන්න ඕන කමක් මතුවෙලා තිබ්බේ නෑ. ආණ්ඩුව දැන් මේ රටේ අධිකරණය සිරගත කරලා තියෙන්නේ.
තමන් බාරයට අරගෙන තියෙන්නේ. ඒ තමන් බාරයට අරගෙන තමන්ට ඕන විදිහට නටවන අධිකරණ පද්ධතිය නිදහස් කර ගැනීම අද සියලු මත දරන දේශපාලන බලවේග වල පොදු ඕනෑකමක්. එනිසා තමයි විපක්ෂ නායකතුමාගේ ආරාධනාව පරිදි අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ.“
විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.

