එල්-නිනෝ තත්ත්වය තවත් මාස 08ක් හෝ 10ක්, එනම් ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් දක්වා පැවතිය හැකි බවත් ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී මෙය අතිප්‍රබල මට්ටමකට වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.
මෙම තත්ත්වය නිසා ඉදිරි මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි නිසා, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙසද අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විටත් ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතීවු සහ මඩකලපුව ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සීමාව ඉක්මවා ඉතා ඉහළ අගයක පවතින අතර ඉදිරි දිනවලදී එය තවත් ඉහළ යාමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
දැඩි සූර්ය රශ්මියක් පවතින දහවල් 2.00ත් සවස 4.00ත් අතර කාලය තුළ ජනතාව එළිමහන් වැඩබිම්වල රැඳී සිටීමෙන් හැකිතාක් වළකින ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ඉදිරි දිනවල සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් බලාපොරොත්තු වන අතර ජූලි (29) වැනිදා තරමක් වැඩි වැසි ඇද හැලෙනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ජූලි අවසන් දිනවල සහ අගෝස්තු මුලදී මෙම ප්‍රදේශවලට අඩු-වැඩි වෙමින් වැසි පවතින නමුත් උතුරු, උතුරු මැද, නැඟෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල වැසි රහිත, දැඩි රස්නයක් සහිත කාලගුණයක් පවතිනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ලබන සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මාසවලදී දිවයිනට වැසි ලැබීමත් සමඟ වැව්වල ජල මට්ටම ඉහළ යා හැකි වුවද, ලබන වසරේ මුල් කාර්තුව සඳහා එම ජලය නිසි ලෙස කළමනාකරණය කරගත යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

