රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ ප්‍රධානත්වයෙන් අද (04) දින කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ අතර ඒ පිළිබඳව 2026 ජූනි (22) දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කෙරිණි.
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පිරිස් සභාපති ධුරයත්, නාලක දිසානායක ලේකම් ධුරයත් දරන මෙම කොමිෂන් සභාවෙහි සාමාජිකයන් සංඛ්‍යාව පහළොවකි.
මෙම කොමිෂන් සභාවට, රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය විය යුතුද යන්න පිළිබඳ නිර්දේශ ලබා දීම ආදියෙහි වගකීම පවරා ඇත.
රාජ්‍ය සේවක වැටුප් පිළිබද ගැටලු විසඳීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වන බවත්, විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ ඉතිහාසේ පළමු වතාවට බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.
රට සංවර්ධනය කර ඉදිරියට රැගෙන යාමේදී විශාල කාර්යභාරයක් රාජ්‍ය නිලධාරීන් වෙත පැවරෙන බැවින් රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බවද, එහිදී රාජ්‍ය සේවයේ පවත්නා ගැටලු විසඳීම ඉතා වැදගත් වන බවද අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ,
“මෙම කොමිෂන් සභාවට පත් කර සිටින සියලු දෙනා රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත වූවන්. ඒ අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ද සිටිනවා. ඔවුන්ටද මේ ගැටලු පිළිබඳ අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මනා අවබෝධයකින්, දැක්මකින් යුතුව ඔවුන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
වැටුප් විෂමතා පිළිබඳ ගැටලු විසඳන තෙක් සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා බලයට පත් වූ පසු ඉදිරිපත් කළ පළමු අයවැයෙන්ම යෝජනා කළා. ඒ වැටුප් වැඩි වීම 2025 ජනවාරි පළමු වන දා සිට වසර තුනක කාලයක් තුළ කොටස් තුනක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
එහි අවසාන වැඩිවීම 2027 ජනවාරි පළමු වන දා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපට එකතු වෙනවා. එම වැටුප් වැඩි වීම 2025 ජනවාරි පළමුවන දා සිට විශ්‍රාම ගිය සෑම රාජ්‍ය සේවකයෙකුටමත් හිමිවෙනවා. 2025 ජනවාරි පළමුවන දා විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප හිමිවන්නේ 2027 ජනවාරි පළමුවන දා වැඩි වන වැටුපට අනුරූපවයි.
එලෙස වැටුප් වැඩිකරනු ලැබුවේ තමන්ගේ වගකීම කැපවීමන් සහ උනන්දුවෙන් ඉටු කරන බහුතරයක් රාජ්‍ය සේවකයින්ට ගරු කිරිමක් හැටියට වගේම ඔවුන්ගේ ගැටලු පිළිබඳව මානුෂීයව දැකපු නිසයි. රාජ්‍ය සේවයේ ඉතා සුළු පිරිසක් වගකීම් විරහිතව කටයුතු කළත් රාජ්‍ය සේවකයින් බහුතරයක් තමන්ගේ වගකීම මනා අවබෝධයෙන් සහ කැපවීමෙන් ඉටු කරනවා. දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදි ඒ බව ඉතා හොඳින් තහවුරු වුණා.
ඒ වගේම වියදම ගැන නොසලකා තමන්ගේ අවශ්‍යතාව කුමක්ද යන්න ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා සියලු රාජ්‍ය ආයතන දැනුවත් කළා. මේ සියලු දේවල්වලින් ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කරමින්, යහපත් රාජ්‍ය සේවයක් පුරවැසියාට ලබා දීමයි.
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 2020 වසරේ සිට අත්හිටුවා තිබුණේ. එහෙත් අපි බලයට ආවට පස්සේ 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව මේ වන විටත් නව බඳවාගැනීම් සිදු වෙනවා.”

