යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වු අතර එහිදී, දියවන්නා ඔයේ ජලය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් පත් කළ කාර්යසාධක බලකායේ අවසන් වාර්තාව සලකා බලා ඇත.
එම අවසන් වාර්තාව මගින් දියවන්නා ඔය සහ පාර්ලිමේන්තුව ආශ්‍රිත ජල පද්ධතියට ගෘහස්ථ අපජලය, වාණිජ හා කාර්මික අපද්‍රව්‍ය එක්වීම ප්‍රධාන දූෂණ මූලාශ්‍ර ලෙස හඳුනාගෙන ඇති අතර ඒ සඳහා කෙටි, මධ්‍යම හා දිගුකාලීන අදියර තුනකින් යුත් කළමනාකරණ සැලැස්මක් යෝජනා කර ඇත.
අපද්‍රව්‍ය සෘජුව ජල මාර්ගවලට එක්වන ස්ථාන හඳුනාගෙන පාලනය කිරීම, ඝන අපද්‍රව්‍ය ජල මාර්ගවලට එක්වීම වැළැක්වීම, අපජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
අඩු ආදායම්ලාභී ජනාවාසවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, නීති විරෝධී ලෙස අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
ඒ අනුව දියවන්නා ඔය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ජල දූෂණය පාලනය කිරීම සඳහා සකස් කර ඇති ජාතික මට්ටමේ වැඩපිළිවෙළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
