ශ්රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්රීඩකයා (Men’s World Athlete of the Year) සම්මානය සඳහා නිර්දේශ වී ඇත.
මෙම සම්මානය සඳහා නිර්දේශ වූ ප්රථම ශ්රී ලාංකික ක්රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසයට එක්වෙයි.
ලබන නොවැම්බර් (29) වනදා මොනාකෝ හිදී පැවැත්වීමට නියමිත ‘ලෝක මලල ක්රීඩා සම්මාන උළෙල’ වෙනුවෙන් ලෝක මලල ක්රීඩා සංගමය විසින් ප්රකාශයට පත් කරන ලද පිරිමි අංශයේ නාමයෝජනා 10 දෙනා අතරට රුමේෂ් තරංග ඇතුළත් කර ඇත.
මෙම නාමයෝජනා 10 දෙනා තේරී පත්ව ඇත්තේ ලෝක මලල ක්රීඩා සංගමයේ නියෝජිතයින් දෙදෙනෙකු සහ මහාද්වීපික කලාපීය සංගම් හයෙන් එක් අයෙකු බැගින් සමන්විත අටදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගිනි.
අවසාන ජයග්රාහකයා තේරීමට ක්රම හතරකින් සමන්විත ඡන්ද විමසීමේ ක්රියාවලියක් සිදුකරනු ලබන අතර ඉන් අවසාන වටයට තේරීපත්වන තරගකරුවන් 6 (පිරිමි හා කාන්තා අංශ වලින් තිදෙනා බැගින්) නොවැම්බර් (10) සහ (11) යන දිනයන්හිදී ප්රකාශයට පත්කිරීමට නියමිතය.
එම අවසන් තරගකරුවන් මොනාකෝ හි පැවැත්වෙන සම්මාන උළෙල සඳහා කැඳවනු ලබන අතර එහිදී 2026 වසරේ ලොව විශිෂ්ටතම මලල ක්රීඩකයා සහ ක්රීඩිකාව ප්රකාශයට පත්කෙරේ.
