ශිරන්තිගේ “ඇස්” රංගනයක්.. සිරිලිය කළු සල්ලි සුදු කරයි

රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට සහ රාජ්‍ය බැංකුවක හිටපු සභාපති ප්‍රදිප් කාරියවසම්ට එරෙහි චෝදනා එල්ල වී ඇත.

මෙම “සිරිලිය සවිය” කළු සල්ලි සුදු කිරීමට යොදාගත් සංවිධානයක් බව අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කරයි.

නඩුව කැඳවු අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“පළමු සැකකරු 2010 වසරේ 12යි (08) මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ඒ අවස්ථාවේදී පැමිණි එකගතාවක් අනුව මිලියන 10ක් දෙන්න තීරණය වෙලා තිබෙනවා. 2010 වසරේ 12යි (30) මුදල අනුමත කරලා තියෙනවා.

මේ කාලය අතරතුරදී පසු අවස්ථාවක 2011 වසරේ 05 යි (04) වැනිදා දෙවන සැකකාරිය මේ මුදල කාල්ටන් සුව උදාන ගිණුමට නැතුව ලංකා බැංකුවේ මරදාන ශාඛාවේ තියෙන ‘සිරිලිය සවිය’ ගිණුමට බැර කරන ලෙස පළමු සැකකරුට කියා තිබෙනවා.

නමුත් ඊට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය තිබුණේ නැහැ. එහෙත් පළමු සැකකරු ෆස්ට් ලේඩි ඉල්ලීම කර තිබෙන්නේ බව පවසමින් අදාල මුදල් සිරිලිය සවිය ගිණුමට බැර කිරීමට කටයුතු කරනවා.”

“චීන රජයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලද ඒම්.ආර්.අයි (MRI) ස්කෑන් යන්ත්‍රය සිරිලිය සවිය සංවිධානයෙන් කරන ලද පරිත්‍යාගයක් ලෙස රෝහලට ලබාදීමට කටයුතු කරලා. ඒ අවස්ථාවට මේ පළමු සැකකරුටත් ආරාධනා ලැබිලා තියෙනවා.

දෙවන සැකකාරියගේ දරුවකුගේ උපන්දිනයක් දවසේ තමා මේ පරිත්‍යාගය කරලා තියෙන්නේ. මෙම ස්කෑන් යන්ත්‍රය චීන රජයෙන් ලද ආධාරයක් බව රීජ්ජේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය රාජමන්ත්‍රී සහ වෛද්‍ය රත්නසිරි ප්‍රකාශ ලබා දෙමින් පවසා තිබෙනවා.”

“මේ ගිණුම 2006 වසරේ ශිරන්ති නවෝදය ලෙස තමා ආරම්භ වන්නේ. ඉන් මාස 03කට පසුව සිරිලිය සවිය ලෙස නම වෙනස් කර තිබෙනවා. මේ සංවිධානය විධිමත්ව ලියාපදිංචි කරලා නැහැ. කිසිම වාර්තාවක් නිළ වශයෙන් ඉදිරිපත් කරලත් නැහැ.

නමුත් රාජ්‍ය ලාංඡනය යොදාගෙන රාජ්‍ය ආයතනයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය භාවිත කරමින් ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ ලෙස තමා ලිපි ශීර්ෂ යොමු කරමින් මේ දේවල් කරලා තියෙන්නේ.”

අනතුරුව ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කළේ,

“සැකකාරිය හෘද රෝගි තත්ත්වයෙන් ඉන්නේ. ඊයේ රාත්‍රියේ හෘද රෝගි තත්ත්වය උත්සන්න වෙලා ඇයව ජාතික රෝහලට ඇතුලත් කරලා තියෙන්නේ මේ වනවිට. මේ වෙද්දි ඇය විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින්නේ. එය සුවිශේෂි කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ගුවන්තොටුපොලෙන් පිටතට එද්දි ඇය කිසිම රෝගි තත්ත්වයකින් පසුවන බව නිරීක්ෂණය වන්නේ නෑ. ඇස් වහගෙන ආවෙත් නෑ. ගුවන් තොටුපලෙන් එළියට. නමුත් අපි අත්අඩංගුවට ගන්න යද්දි ඇස් සැත්කමක් කළා කියලා, හරිද වැරදිද මන්දා ඇහක් වහන් හිටියා. මේ සිදුවීම් මාලාව “රංගනයක්” ස්වාමීනි.”

අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

එම අවස්තාවේදි ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කළේ,

“ස්වාමිනී., මං කලින් කිව්ව එක වෙනස් කරගන්නවා. මට දැන් උපදෙස් ලැබෙනවා සැත්කම මේ අවස්ථාවේ සිදු කරන්නේ නෑ. නමුත් සැකකාරියට සැත්කමක් සිදු කිරීමට නියමිතයි කියලා.“

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම සඳහන් කළේ,

“එම වාර්තාවේ හෘද සැත්කමක් කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශ සටහන්ව නෑ. එන්ජිඕ ග්‍රැම් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට නිර්දේශ තිබෙනවා. ඒ වගේම වාර්තාවේ සැකකාරියගේ රෝගී තත්ත්වයන් ගැන සදහන් කරලා තියෙනවා. ප‍්‍රතිකාර නොකලොත් ජීවිතයට තර්ජනයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා.

එම නිසා අධිකරණයට රැගෙන ඒමට නොහැකි බවත් සදහන් කරලා තියෙනවා. මට අවශ්‍ය නැහැ කවුරුත් බන්ධනාගාරයේ තබන්න. නමුත් ප්‍රමාණවත් සුවිශේෂ කරුණු අවශ්‍යයි ඇප ලබා දීමට. සැකාරියට අවශ්‍ය ප්‍රතිකාර මොනවාද යන්න වෛද්‍ය මණ්ඩලය අද සවස රැස් වී සාකච්ඡා කරන බව වාර්තාවේ සඳහන්. එම නිසා මේ අවස්ථාවේ ඇප ලබාදීමට සුවිශේෂී තත්ත්වයක් නෑ සැකකාරියට.”

අනතුරුව ශිරන්ති රාජපක්ෂ ලබන (16) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

0 Comments
Most Voted
Newest Oldest