අපරාධයකින් උත්පාදිත දේපල සන්තකයේ තබාගැනීමේ චෝදනාවට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහින්ද රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සහ නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වන සංජය සමරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (20) දින නියෝග කළේය.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් ද තහනම් කළේය.
අධිකරණයේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා සඳහන් කළේ,
“ස්වාමීනි., පසුගිය සිකුරාදා රාත්රී දහයට පමණ සැකකරුගේ නිවස පරීක්ෂා කළා. අනතුරුව නිවසේ තිබූ එම සේප්පුව විවෘත කරන ලෙසට සැකකරුට දැනුම් දුන්නද, වසර පහකට පමණ පෙර වසා දැමූ සේප්පුවේ රහස් අංක මතක නෑ කියලා සැකකරු කිව්වා.
පසුව සැකකරුද, අදාළ සේප්පුවද අත්අඩංගුවට ගත්තා. සේප්පුව අල්ලස් කොමිසමට රැගෙන එමෙන් පසුව සැකකරු ඉදිරියේම කාර්මිකයෙකු ලවා විවෘත කළා. එහි රුපියල් දහඅට ලක්ෂ පන්දහසක මුදලක් තිබ්බා. රත්තරන් යැයි සිතිය හැකි පා සළඹ අටක්, ලක්ෂ අටක් පමණ වටිනා අත් ඔරලෝසුවක් තිබුණා.
සැකකරුගෙන් අදාළ මුදල් පිළිබඳ ප්රශ්න කිරීමේදී පැවසුවේ, වසර එකහමාරකට පෙර වාහනයක් විකුණා රුපියල් ලක්ෂ පහළොවක මුදලක් සේප්පුවේ දැමූ බවයි. රුපියල් තුන්ලක්ෂ පනස් දහසක මුදලක් ඔහුගේ මවගේ සහ පියාගේ බව ප්රකාශ කළා. නමුත් මේ සැකකරු සිදුකළ ප්රකාශවල පරස්පරතා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින්නේ. සැකකරු ඇප මත මුදා හැරීම විමර්ශනයට බාධාවක් විය හැකියි. එම නිසා සැකකරු විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”
අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේ,
“මගේ සේවාදායකයා කුඩු, ගංජා හෙරොයින් ජාවාරම්කාරයෙක් කියා නෙවෙයි පරීක්ෂා කළේ. ඔහු අත්අඩංගුවට ගත්තේ ඔහු නාමල් රාජපක්ෂගේ ලේකම් වීම හේතුවෙන්. රාත්රී දහයට තමයි විමර්ශන නිලධාරීන් මගේ සේවාදායකයාගේ ගෙදරට ගියේ. සෝදිසි වරෙන්තුවක් පෙන්නලා පාන්දර 04 පමණ වෙනකන් ගේ පරීක්ෂා කරලා.
නමුත් මුකුත් හොයාගන්න බැරිවෙලා. ඒ හින්දා සේප්පුව අත්අඩංගුවට ගත්තා. මගේ සේවාදායකයා ලබා දුන්න ප්රකාශයේ පරස්පරතා තියෙන්න පුළුවන්. ඔහුට මතක නෑ කාලෙකට කලින් විකුණුව වාහනේ විකුණු දවස්. නමුත් ඔහු පසුව ගෙදර ගිහිල්ලා ලේඛන පරීක්ෂා කරලා නිවැරදි ප්රකාශ අල්ලස් කොමිසමට ලබා දීලා තියෙනවා.
විකුණු වාහනය මිලියන 11ක් පමණ වටිනවා. වාහනය මිලියන හතක මුදලට විකුණලා එම මුදලින් ලක්ෂ පහළොවක් ඔය සේප්පුවේ දැම්මා. අත් ඔරලෝසුව ඔහුගේ පැරණි පෙම්වතිය ලබා දුන්න ඉතා වටින එකක්. ස්වාමීනි., ඕනෑම විමර්ශනයකට සහාය දෙන්න මගේ සේවාදායකයා සූදානම්. සුදුසු කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.”
කරුණු සලකා බැලු ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
නඩුව දෙසැම්බර් (18) දින යළි කැඳවීමට නියමිතය.
