ශිරන්තිගේ ජීවිතය අවදානම්.. ජීවතුන් අතර සිටීද නැද්ද කියන්න බෑ

එයාර්බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් නම් කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ,

“ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා වරද ඔප්පු කරන තෙක් ඕනෑම සැකකරුවෙකු නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ සිටින බව. අපි අපිට පැමිණීමට පවසන ඕනෑම දවසක එන්නම් මහාධිකරණය හමුවට. එදිනට මහාධිකරණය ඇප ලබා දෙනවාද.? රක්ෂිත බන්ධනාගාරගත කරනවාද.? සලකා බලයි.

ඒක අද අදාළ වන්නේ නැහැ. අද මේ අධිකරණයට සැකකරුට ඇප ලබා දෙන්න පුළුවන්. එම නිසා ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

මහමහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් මහේස්ත්‍රාත් අධිකරණයට ඇප නියම කිරීමේ බලයක් නැතැයි එම අවස්තාවේදි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ, මහාධිකරණයේ සිතාසි ලැබෙන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ,

“ස්වාමීනි., මාගේ උගත් මිතුරා සමග මම එකඟ වෙනවා. දැන් මේ නඩුකරය සම්බන්ධව අධිකරණ බලය පවතින්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයට. මොකද දැනටමත් අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙන නිසා.

අධිචෝදනා පත්‍ර ගොනු වීමත් සමග මෙම නඩුව සම්බන්ධයෙන් මේ අධිකරණයෙන් ලබා දී තිබෙව නියෝග ද අවසන් වෙනවා. සැකකරුට ඇප ලබා දෙනවාද.? නැද්ද.? කියන බලය තියෙන්නේ මහාධිකරණයට.

එම නිසා මෙම අධිකරණයේ මෙම නඩු කටයුත්ත අවසන් කර මීට බලපාන ඉදිරි නියෝගයක් නිකුත් නොකරන ලෙස මම ඉල්ලා සිටිනවා.”

අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සඳහන් කළේ,

“ඇප ලබා දීමට මේ අවස්ථාවේ මේ අධිකරණයට හැකියාවක් නෑ. මට මේ අවස්ථාවේ කළ හැකි එකම නියෝගය අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණයට හැකි ඉක්මනින් සැකකරු ඉදිරිපත් කිරීමට නියෝග කිරීම පමණයි.

එම නිසා (28) වැනිදා සැකකරුව අධිචෝදනා ගොනුකර ඇති ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කරන්න. අනතුරුව එළැඹෙන (30) වැනිදා ඒ පිළිබඳව මට වාර්තා කරන්න.

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට සැකකරු ඉදිරිපත් කරන තුරු බන්ධනාගාර භාරයේ එළැඹෙන (29) වැනිදා දක්වා සැකකරු රඳවා තබා ගන්නා ලෙස නියෝග කරනවා.”

මේ අතර රුපියල් මිලියන 70ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් චෝදනා නැගෙන ක්‍රිෂ් නඩුවට අදාළව සුවිශේෂි කරුණු මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂගේ නීතීඥ අලි සබ්රි ගොනුකළ මෝසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලුණේය.

එහිදී ජනාධිපති අලි සබ්රි සඳහන් කළේ,

“මොහුගේ පියා මේ වනවිට විටින් විට ඇතිවන අධි රුධිර පීඩනයෙන් සහ විශාදය යන රෝගයන් අසාධ්‍ය වී රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගෙන නිවසට ගොස් තිබෙනවා.

නමුත් ඔහුව රැක බලා ගැනීමට අවශ්‍යයි. ඔහුව බලා ගැනීම මෙතෙක් කාලයක් ඉටු කළේ මෙම සැකකරුගේ මව වන ශිරන්ති රාජපක්ෂ. නමුත් ඇයත් මේ වනවිට හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටිනවා.

ඇයගේ හෘදයට රුධිරය සපයන ප්‍රධාන නළය අවහිර වී තිබෙනවා. එම නිසා හෘදයට ඔක්සිජන් සපයන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවීමට ඉඩ තිබෙන බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබෙනවා.

ඇයට එන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණයක් සහ තවත් ශල්‍ය කර්ම දෙකක් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා. ඉන් එක් ශල්‍ය කර්මයක් මේ වනවිට සිදුකර ඇයව හෘද ස්පන්ධන යන්ත්‍රයක් ආධාරයෙන් දැන් රෝහලේ සිටිනවා.

වෛද්‍ය නිර්දේශ අනුව ඇයට දෙවන සැත්කම ලෙස විවෘත හදවත් සැත්කම අද පස්වරු හතරට සිදු කරනවා. එය ජීවිත අවදානමක් සහිත සැත්කමක්. අද පස්වරුවේ මේ සැත්කම සිදුකළ පසු මේ සැකකරුගේ මව ජීවතුන් අතර සිටීද නැද්ද කියාවත් ස්ථිරව කියන්න බෑ.

දැන් සැකකරුගේ පියා මහින්ද රාජපක්ෂව ඛලා ගැනීමට සැකකරුගේ මවට හැකියාවක් නෑ. මොකද සැකකරුගේ මවවත් දැන් රැක බලා ගැනීමට කෙනෙකු අවශ්‍ය තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

අද මේ සැකකරුට ඇප ලබා දුනහොත් ඔහු ගිහින් ඔහුගේ මව බලයි. මොහු මොහුගේ මව දකින අවසන් දවස අද වෙන්නත් පුළුවන් ස්වාමීනි. මොහු මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා.

මොවුන් එකම නිවසේ ජීවත් වුණේ. සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීම දඬුවමක් හැටියට ක්‍රියාත්මක නොවිය යුතුයි.”

අනතුරුව සහකාර නීති අධ්‍යක්ෂිකා තනුජා බණ්ඩාර සඳහන් කළේ,

“මෙම සැකකරු වෙනුවෙන් අද දිනයේ ඉදිරිපත් කරපු කරුණු වලට ලිඛිතව දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කිරීමට පැමිණිල්ලට කාලය අවශ්‍යයි. සැකකරු දූෂණ විරෝධී පනත ප‍්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරීපත් කර ඇති සහතිකය අනුව විමර්ශන අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි.

සුවිශේෂී කරුණු නැති අවස්ථාවක සැකකරුට ඇප ලබාදීමට නොහැකිය. සැකකරුට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ ප‍්‍රකාරව ඉදිරීපත් කර ඇති සහතිකය අභියෝගයට ලක් කළ නොහැකියි.”

අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල විසින් සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධව දරන ස්ථාවරය (28) දින අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel