අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධව පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කරයි.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිරව රාජකාරි සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශනය සිදුකෙරේ.
අත්අඩංගුවේ පසුවන තම පියාට පොලිස් නිලධාරීන් පහරදී ඇති බව පවසමින් පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම සැකකරු දිවයාමට උත්සහ දරා ඇති බවත් අනතුරුව දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බව පොලීසිය සඳහන් කළේය.
අනතුරුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකරුව (25) දින බලපිටිය රෝහල වෙත ඇතුලත් කර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරුව ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
