අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.
තම පියාට පොලිස් නිලධාරීන් විසින් පහරදී තිබෙන බව පවසමින් පුද්ගලයෙකු පොලිස් ස්ථානයක් තුළ කලහකාරී අන්දමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
මෙම සිද්ධිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ සිද්ධියක් බව අනාවරණය වී ඇත.
වීඩියෝවේ දක්වන පියා ලෙසින් හදුන්වන වියපත් පුද්ගලයා (24) වන දින රාත්‍රියේ බීමත්ව අශෝබන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු දිවයාමට උත්සහ දරා ඇති අතර දිව යාමට නොහැකිව ඇද වැටී සිදුවූ රුධිර වහනය වීමක සලකුණු වීඩියෝවේ දර්ශනය වන බව වාර්තා වේ.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකරුව අද (25) දින බලපිටිය රෝහල වෙත ඇතුලත් කර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරුව ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියමයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිභාහිරව රාජකාරි සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
